(මුදිතා දයානන්ද)
‘අපි දෙදාස් පහළොවේ අලූත් ආණ්ඩුවක් හැදුවේ තක්කඩින් කීප දෙනෙකුට ජාවාරම් කරන්න නෙවෙයි. මේ තක්කඩින් සමඟ තවදුරටත් යන්න බැහැ. 2020 දී අපි අලූත් පෙරමුණකින් අලූත් ගමනක් ආරම්භ කරනවා.‘ යැයි ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (07) පැවසීය.
රණවක මහතා මෙසේ පැවසුයේ කොළඹ නව නගර ශාලාවේ පැවති ජාතික හෙළ උරුමයේ ලෝක කම්කරු දින රැළියේදි අදහස් දක්වමිනි.
තවදුරටත් අදහස් දැක්වු රණවක මහතා මෙසේද පැවසීය.
කළින් තිබුණ ආණ්ඩුව මේ රටේ ජනතාවගේ මුදල් තම තමන්ගේ රුචිකත්වය අනුව විවිධ ව්‍යාපෘතිවලට යෙදෙව්වා. ඒවා කොයි තරම් දුරට නැවත ආයෝජනයක් වෙනවාද නැද්ද කියලා හොයා බැලූවේ නැහැ. වැයකළා පමණයි. විශේෂයෙන්ම අධිවේගි මාර්ග හදන්න මහා ධනස්කන්දයක් වැය කරද්දි ඒ වියදමින් මං තිරු හතරේ සාමාන්‍ය පාරවල් තව කීයක් හදන්න තිබුණාද? ඒවා කොයි තරම් දුරට මේ රටේ ජනතාවට ප‍්‍රයෝජනවත් වෙනවාද කියලා බැලූවේ නැහැ. බොරු ෂෝ තමයි කළේ.
අදත් එහෙමයි කුරුණෑගල ඉඳලා ගලගෙදරට අධිවේගී මාර්ගයක් හදනවා. නුවරට පැයෙන් යන්න කියලා තමයි මේවා හදන්නේ. මේ සේරම බොරු ෂෝ. අපි කළ යුත්තේ ජනතාවට ප‍්‍රයෝජනවත් වෙන දේවල් මිසක් එක්කෙනෙකුගේ දෙන්නෙක්ගේ උවමනාවන් ඉටු කිරිමක් නෙවෙයි.
අපි දෙදාස් පහළොවේදි ජීවිත පරිත්‍යාගයෙන් අලූත් ආණ්ඩුවක හදාගත්තා. තක්කඩින් කීප දෙනෙක් එකතුවෙලා රටේ ජනතාවගේ මුදල් ජාවාරම් කරන්න පටන් ගත්තා. මොවුන් ජාවාරම් කරන්න යොදාගත්තේ මේ රටේ ජනතාව දුක් මහන්සියෙන් හම්බකළ මුදල්. මේ රටේ ජනතාවට වෙනුවෙන සංවර්ධන කටයුතු කරන්න තිබෙන මුදල්. ඒ නිසා මෙවැනි තක්කඩින් සමඟ තවදුරටත් යන්න බැහැ. අපි විස්සයි විස්සට අලූත් පෙරමුණක් හදනවා. අලූත් ගමනක් අපි ආරම්භ කරනවා. නව දේශපාලන සංස්කෘතියක් අපි නිර්මාණය කරනවා.
(ඡායාරූප -ඉෂාන් සංජීව)