‘අභූත චෝදනා එපා’


මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තම අමාත්‍යංශය යටතේ ඇති නිසා එහි චෝදනා ලැබ ඇති එජනිස හිටපු මැති ඇමතිවරුන් තමන්ට අභූත චෝදනා එල්ල කරමින් සිටින බව මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (14) පැවසුවේය.

තමන් පාතාලයට සම්බන්ධ බවට ආදී වශයෙන් චෝදනා කරන විමල් වීරවංශ, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල, ප්‍රසන්න රණතුංග, ඇතුළු හිටපු මැති ඇමතිවරුන් සියලූ දෙනාට එරෙහිව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ පැමිණිලි විභාග වෙමින් තිබෙන බව ද ඇමතිවරයා කීවේය.

මොවුන් කුමන චෝදනා කළත් ලබන 17 වැනිදාව එජාපය අනිවාර්යයෙන් ජයගන්නා බව කී ඇමතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බව ද ප්‍රකාශ කළේය.

මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 5කට වඩා හිමි නොවන බව කී ඇමතිවරයා එක්සත් ජාතික පෙරමුණට ආසන 10ත් 11ත් අතර ප්‍රමාණයක් ලැබෙනු ඇති බව සමීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි ද කියා සිටියේය.