‘අපේ පක්ෂේ පොලිස් : අපේ පාට කාකි පාට‘


මහ මැතිවරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය ප්‍රදේශවල සංචාරයක නිරත වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

එහිදී උසස් නිලධාරීන් හමුවූ පොලිස්පතිවරයා දැඩිව මැතිවරණ නීති ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේය.

‘පොලිසියට කිසිම පක්ෂයක් නෑ. පාටක් නෑ. අපේ පක්ෂය පොලිස්. අපේ පාට කාකි පාට. ඒ නිසා සෑම පක්ෂයකටම එක සමානව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න.‘

විශේෂයෙන්ම මාර්ගවල ධාවනය වන අවසර නැති අඳුරු වීදුරු සහිත වාහන හා ලියාපදිංචි නොකළ වාහන සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් පොලිස්පතිවරයා එම නිලධාරීන්ට දැනුම් දුන්නේය.