‘අපේ 56ට වඩා ආණ්ඩුවට 16 ලොකුවෙලා‘


මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ සන්ධානයේ මන්ත්‍රීන් 56 දෙනකු අත්සන් කළ ලියවිල්ලක් කතානායකට දී තිබියදී 16 දෙනකු සිටින පක්ෂයකට විපක්ෂ නායකකම දීම වැරදි බවත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් කීවේය.

‘පාර්ලිමේන්තුව මීට පසු රැස්වන්නේ දින 15කට පසුවයි. ඊට කලින් කතානායක හමුවී නිවැරදි තීරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.‘ යැයි දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසූයේ රටට ද්‍රෝහි වීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රජය දුර්වල විපක්ෂයක් පත් කරගෙන ඇති බවයි. එය දෙමළ ජාතික සන්ධානයට ලොකු ජයග්‍රහණයක් බවයි.

පිවිතුරු හෙළ උරුමයේ මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටියේ දෙමළ බෙදුම්වාදයට රජය යටවී ඇති බවයි. දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායකකම දීමෙන් එය පැහැදිලි වන්නේ යැයිද ඔහු කීවේය.