‘අප්පච්චි මැරුවේ සුමනදාසයි‘


‘අපි අප්පොච්චි මරන්න හැදුවේ නෑ. අපි අප්පච්චිට සේලයින් දීපු මිනිස්සු. අපි එතුමන් ජයග්‍රහණය කරන්න උපරිම අයුරින් කැපවුණා. අප්පච්චි මරන්න හැදුවේ සුමනදාස දෛවඥයයි, පවුලේ උදවියයි‘  වාරිමාර්ග අමාත්‍ය ගාමිණි විජිත් විජයමුණි සොයිසා තණමල්විල සෙවණගල පෙර පාසල් උත්සවයකදී කීවේය.

‘සමහරු කියනවා අපි එක්සත් ජාතික පක්ෂයට ගිහින් කියලා. අපි මේ පක්ෂයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ දිස්ත්‍රික්කයේ නෙමෙයි, මේ රටේ එතුමා දිනවන්න මුල්වී වැඩ කරපු කෙනෙක් මම. එතුමා කියනවා අප්පච්චි මැරුණේ නෑ කියලා පෙන්වන්න ආවා කියලා. අපි අප්පච්චි මරන්න හැදුවේ නෑ.‘

‘මම විතරක් නෙවෙයි මගේ පුතා රෑ එළි වෙනකන් රූපවාහිනී විවාදවල විජයදාස රාජපක්ෂ නීතිඥතුමා, අධිකරණ ඇමැතිතුමා, සුජීව සේනසිංහ නියෝජ්‍ය ඇමැතිතුමා, අජිත් පී.පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමාලා එක්ක කවුද තර්ක කළේ. ඒවාට කථා කළේ මම එළි වෙනකන්. අපි එහෙම කළේ මේ පක්ෂය පිළිබඳ තියෙන හැඟීමෙන්. එතුමා පිළිබඳ තිබෙන හැඟීමෙන්. ඒ හැඟීම අදත් තියෙනවා. මහින්ද රාජපක්ෂ ඇමැතිතුමාගේ පින්තූරේ අපේ ගෙදර තාම තියනවා. ඒක ගලවලා නෑ. අපි එතුමාට ආදරෙයි.‘ යැයි අමාත්‍යවරයා කීවේය.

‘අද මම ඉන්නේ බරපතල චෝදනා යටතේ. මම ඇප පිට ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා. මහින්ද රාජපක්ෂ දිනවන්න ගියපු නිසා. මම ලක්ෂ ගාණක ඇප පිට ඉන්නේ. අපි නඩු දාගත්තා. අපි තර්ක විතර්ක කළා. බදුල්ල, නුවරඑළිය, මොනරාගල දිස්ත්‍රික්ක තුනේම වැඩ කළා. එහෙම කරලා කොහොම හරි බැලුවේ අපේ ආණ්ඩුව රැකගන්න.‘ යැයිද විජිත් විජයමුණි සොයිසා කීවේය.