‘අගමැතිට එරෙහි විශ්වාස භංගය ශක්තිමත්‘ -ඇමැති එස්.බී දිසානායක කියයි


(විනීතා එම් ගමගේ)

අග‍්‍රමාත්‍යවරයාට එරෙහිව ඉරිපත් වීමට නියමිත විශ්වාස භංග යෝජනාව ඉතා ශක්තිමක් එකක් බවත් එයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මෙන් ම එක්සත් ජාතික පක්ෂයේත් බොහෝ දෙනෙක් සහයෝගය දක්වතියි විශ්වාස කරන බවත් සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ප‍්‍රකාශ පැවසීය.

මේ විශ්වාසභංග යෝජනාවෙන් පසුව ලොකු වෙනසක් වෙතැයි තම පක්ෂය විශ්වාස කරන බැවින් කැබිනට් සංශෝධනයක් පිළිබඳ තමන්ට  හදිසියක් නොමැති බවත් හෙතෙම සඳහන්  කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ වලපනේ ලියන්වල අලූතින් ඉදි කළ  සමෘද්ධි නිෂ්පාදන ආදර්ශ ගම්මානය විවෘත කිරීම සහ උපකරණ බෙදා දීමේ උත්සවයට සහභාගී වෙමිනි. එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය. 

‘‘ඒ වගේ ම පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආයතන 167ක් ශ‍්‍රීලනිප සහයෝගය නැතිව පිහිටුවන්න බැහැ. ඒ නිසා මේ වනවිට සාකච්ඡා කරමින් යන්නේ අපේ අයට ලාභ දායක, අපේ අයට ප‍්‍රයෝජනවත් වන විදියට තනතුරු බෙදා හදාගෙන පුළුවන් විදියට ප‍්‍රාදේශීය සභා පිහිටුවන්නට උදව් කරන්නට බලා පෙරොත්තු වෙනවා. 

අවුරුදු 20කට පස්සේ සමෘද්ධිය නැවතත් මගේ අතට පත්වෙලා තිබෙනවා. මේ වෙනකොට සමෘද්ධි ව්‍යාපාරය තුළ ප‍්‍රශ්න ගොඩක් ගොඩ ගැහිලා. මේ සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ නිකන් ම නිකන් නමක් විතරක් නොවෙයි. මෙය ලෝකයේ දිළිඳුකම පිටු දැකීමේ ව්‍යාපාර ගණනාවක් අධ්‍යයනය කරලා ඒවා ප‍්‍රායෝගිකව අත්දැකලා රටට අවශ්‍ය පරිදි සකස් කළ එකක්. ඒක බොහොම විද්‍යාත්මකව සකස් කරන ලද්දක්.

ඒ පිළිබඳ මූලික දැනුමක් නොමැති නිලධාරීන් අතට එය ගියාම ප‍්‍රශ්න ඇතිවීම ස්වභාවික යි.මම දන්නවා සමෘද්ධි නිලධාරීන්ට, කළමනාකරුවන්ට ප‍්‍රශ්න තියෙනවා. අපි ඒවා එකින් එක විසඳනවා.

සමහර තැන්වල මාස දෙක තුන ප‍්‍රතිලාභීන්ගේ සල්ලි හිරකරගෙන ඉඳලා ගෙවනවා. මේක මට දැනගන්න ලැබුණා. ඒ පිළිබඳ මම වහාම ක‍්‍රියාත්මක වුණා. නමුත් තවමත් එවැනි දේවල් සිදු වෙනවා නම් ඊට තදින් කටයුතු කරනවා. එහෙම ගැටළු තිබෙන තැන් තියෙනවා නම් වහාම මාව දැනුවත් කරන්න. සල්ලි ප‍්‍රමාද විතරක් නොවෙයි මිනිස්සුන්ට හදිසියක දී විශේෂයෙන් ම මළගෙදරක දී, අසනීපයක දී අවශ්‍ය අවස්ථාවේ ම සල්ලි ලබා දිය යුතු යි. මේ සල්ලි රජයේ සල්ලි නොවෙයි. ඒවා ජනතාවගේ ම සල්ලි.