‘20 සම්මත කරගන්න බෑ වගේ : මහ මැතිවරණයක් ඕනෑ‘


පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් විසුරුවා මහ මැතිවරණයකට යන්නැයිද එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය විදේශ ඇමැති අජිත්.පී.පෙරේරා මහතා අද (15) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

දින 100ක පාලනයක් සඳහා ජනතා වරමක් ලබාගෙන එය දින 200ක් දක්වා දීර්ඝ කිරීම ජනතා වරමට පටහැනි බවත් එයින් ජනතා විශ්වාසය බිඳ වැටෙන බවත් දැනට පවතින දේශපාලන තත්ත්වය අනුව නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන 20වැනි සංශෝධනය සම්මත කර ගත හැකි වාතාවරණයක් නැති බවද අජිත් පී.පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය දීර්ඝ ලෙස සාකච්ඡා කර මෙම තීරණය ගත් බවත් රට වෙනුවෙන් දේශපාලනිකව සිතා ගනු ලැබූ මෙම තීරණය පිළිබඳව ජනාධිපතිවරයාද අනිවාර්යයෙන් සතුටුවනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මහ මැතිවරණයක් පවත්වා ආණ්ඩුවක් පත්කර ගැනීමෙන් පසු නව මැතිවරණ ක්‍රමයක් ඇතිකරන 20වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇති කළ යුතු බවද ඔහු කීවේය.

‘හිටපු ජනපති කියන්නේ මොනවාද කරන්නේ මොනවාද කියලා කවුරුත් දන්නේ නැහැ. එතුමාට වේදිකාවට නගින්නවත් හිතේ හයියක් නෑ. එතුමා වටේ යනවා. තාප්පෙට නඟිනවා. අත වනනවා. මේකට කියන්නේ මුට්ටිය දානවා කියලා. එතුමා කැරකි කැරකි මුට්ටිය දාලා බලනවා‘

(වීඩියෝ සනත් ඩෙස්මන්)

(වීඩියෝ ශාන්ත රත්නායක)

DSC_9848 DSC_9857 DSC_9884