‘20 සංශෝධනයට ජනමත විචාරණයක් ඕනි නෑ‘


(මනෝප්‍රිය ගුණසේකර)

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්මත කරගැනීමට හැකි බවත් නීතීපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට අද (02) දැනුම් දී ඇත.
 
20 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත තුළින් ජනමත විචාරණයකට අදාළ කරුණු කිසිවක් ඉදිරිපත් නොවන බව නීතීපතිවරයාගේ මතය වී ඇතැයිද නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මහත්මිය පැවසුවාය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ මතය විමසන ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ලබාදුන් උපදෙස් වලට අනුව අදාළ පනත් කෙටුම්පත පෙරේදා (01) නීතීපතිවරයා වෙත යොමු කළ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නීතීපතිවරයාගේ මතය විමසන ලදී.
 
ඒ අනුව අදාළ ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යනය කළ නීතීපතිවරයා සිය මතය අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමු කොට ඇති අතර එහි පිටපතක් නීතී කෙටුම්පත් සම්පාදකවරයාටද යොමු කළ බව නිශාරා ජයරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත තුළින් ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය යටතේ දැක්වෙන ජනමත විචාරණයකට අදාළ කරුණු කිසිවක් ඉදිරිපත් නොවන හෙයින් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව නීතීපතිවරයාගේ මතය වී ඇත.
 
ඒ අනුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (5) අනු ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමෙන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන්  තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගැනීමට හැකියාව ඇති බවද නීතීපතිවරයාගේ මතය වී ඇත.