(බිඟුන් මේනක ගමගේ )
රජය මැතිවරණය කල් නොදමා සිටින්නට හැකි උපරිම උත්සාහය ගන්නේ යැයි වාරියමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන හිටපු රාජ්‍ය ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා ‘ලංකාදීප’ යට අද(15) පැවැසීය.
කුමක් හෝ කරුණකට මුවා වී මැතිවරණය කල්දැමීමේ වුවමනාව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට යැයි ද රජයට එවැනි වුවමනාවක් නැතැයි ද මහින්ද යාපා අබේවර්ධන මහතා කීය.
රටේ හදිසි අවශ්‍යතා සඳහා මුදල් වෙන්කරවා ගැනීමට රජය උත්සාහ කළ අවස්ථාවේ ඊට එ.ජා.පය විරුද්ධ වී යැයි චෝදනා කළ හෙතෙම එවැනි පක්ෂයකට මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හදිසි සැසියක් කැඳවන්නැයි ඉල්ලාසිටීමට කිසිදු අයිතියක් නැතැයි ද කීවේය.
මහින්ද යාපා අබේවර්ධන හිටපු ඇමැතිවරයා මේ බව පැවැසුවේ ‘ලංකාදීප’ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කොරෝනා තත්ත්වය සමග පාර්ලිමේන්තුවේ හදිසි සැසියක් කැඳවන්නැයි හිටපු විපක්ෂ නායකවරයා කළ ඉල්ලීම හා ජනතා විමුක්ති පෙරමුණ සියලු දෙනා එකතුව ජාතික වැඩපිළිවෙලකට යා යුතු බව පවසමින් නිකුත් කළ නිවේදනය ගැන විමසීමේදීය.
අබේවර්ධන මහතා මෙසේ ද කීය.
“පාර්ලිමේන්තුව රැස්කරන්න ඉල්ලා සිටින්න ඒ අයට කිසිම අයිතියක් නෑ. රටේ එදිනෙදා කටයුතුවලට මුදල් වෙන්කරන්න ගියාම එ.ජා.පය විරුද්ධ වුණා. ඒ නිසා මේ අර්බුදයට මුහුණදීම විපක්ෂය විසින් වලක්වලා තිබෙන්නේ. පාර්ලිමේන්තුව රැස්කිරීම දැන් කරන්න බෑ.
විසුරුවලා තිබෙන්නේ. යලි කැදවනවා නම් ඒකට විශේෂ ක්‍රමවේදයක් තිබෙන්නේ. එච්චර දුරට යන්න යෝජනා කරන්න විපක්ෂය මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවන් ගැන සැලිකිලිමත් වෙච්ච විපක්ෂයක් නෙවෙයි. ඉතාමත්ම ද්වේෂසහගත ලෙස කටයුතු කරන විපක්ෂයක්. ඒ නිසා විපක්ෂය කියන කියන විදියට කටයුතු කරන්න අවශ්‍ය නෑ.”
“ජනතාව කලබල කරලා බොරුවට දැන් පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා යෝජනා කරන්නෙත් රටේ මහා අර්බුදයක් ඇතිවෙලා යැයි නොසන්සුන්තාවයක් ඇතිකරන්නයි. කොරෝනා වයිරසයට මුහුණදීමට ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම අපි ගෙන තිබෙනවා.
එහෙම තත්ත්වයක් ඇති නොවීමටයි රජයක් විදියට අපි මුල ඉඳලාම උත්සාහ කළේ. අපි මැතිවරණය කල් නොදමා ඉන්න අන්තිම මොහොත දක්වා උත්සාහ කරනවා. කුමක් හෝ බොරු වරදක් අරගෙන මැතිවරණය කල්දැමීමේ වුවමනාව තිබෙන්නෙ එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණටයි. මැතිවරණය හා කොවිඞ් පටලවාගන්න එපා.”

