(විනීතා එම් ගමගේ)
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සංවිධානයේ 30/1 යෝජනාව පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සඳහා කොමිසමක් පත් කරන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලා සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප‍්‍රකාශ කළේය.
මෙම යෝජනාව ඉවත් කරන ලෙස එක්සත් ජාතින්ගේ සංගමයට දන්වන ලෙසත් ඒ සඳහා අවශ්‍ය නිර්දේශ කොමිසම පත්කර ලබා ගන්නා ලෙසත් ඉල්ලා සිටින බව ද ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කියා සිටියේය.
මෙම යෝජනාව පිළිබඳව ඒකාබද්ධ විපක්ෂ කිසිවක් නොකරන බව පෙනී යන්නේ යැයි ද එබැවින් මේ පිළිබඳ යම් පියවරක් ගන්නැයි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටීමට තීරණ්‍ය කළ බවත් හෙතෙම සඳහන් කළේය.
අමරසේකර මහතා මේ අදහස් පළකළේ රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන එකමුතුවේ කාර්යාලයේ අද (14) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙසේ ද කියා සිටියේය.
‘‘ ආණ්ඩුව විපක්ෂනායක කම ඒකාබද්ධ විපක්ෂයට නොදෙන්නේ ඇයි? දැන් කියනවා ස්වාධින වෙන්න කියලා. ස්වාධින වුණොත් කියාවි පක්ෂයක් නැති නිසා විපක්ෂ නායක කම දෙන්න බැහැ කියලා. අපි පුරවැසියන් ලෙස ඡන්දය දෙන්නේ ව්‍යවස්ථාවේ බලය ගන්නයි. කථානායක ගේ වගකීම ඒ බලය ක‍්‍රියාත්මක කිරීමයි. දේශපාලන මතය අදාල කථානායටයි. මන්ත‍්‍රීවරු පිරිසක් පොදු එකඟතාවයකට ආවොත් එම පිරිසට විපක්ෂනායකකම දිය යුතුයි. තමන් තරඟ කළ පක්ෂයෙන් ඉවත්ව එන්න කියා කිව නොහැකියි. ඔහොම යනකොට ඇඳුම් ගලවලා එනව නම් ගන්නවා කියලත් කියයි.
ගිණුම්කාරක සභාවේ විතරක් නොවෙයි සියලූ කමිටුවලින් ඒකාබද්ධ විපක්ෂය ඉවත්විය යුතුයි. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙනුත් ඉවත් විය යුතුයි. පාර්ලිමේන්තුවේ යොදන බලය වැළැක්විය යුතුයි. ’’යැයි ද අමරසේකර මහතා කීය.
නීතිඥ කල්‍යාණන්ද තිරාණගම මහතා අදහස් දක්වමින් මෙසේ පැවැසීය.
‘‘පාතාලය කරනවාට වැඩි මංකොල්ලයක් මේ ආණ්ඩුව කරන්නේ. පොරොන්දු වුණ කිසිවක් කරල නැහැ. ජනතාවට සහන දෙනවා කියල කරන්නේ ඇමතිවරු හා ඔවුන්ගේ ගොලබාලයෝ සහන ගන්න එක. රෝගීන්ගෙන දරුවන්ගෙන් මහලූ අයගෙන් පවා බදු අයකරමින් වරප‍්‍රසාද භුක්ති විඳිනවා.
ඇයි ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂනායක කම නොදෙන්නේ? මේකට වගකිව යුතු මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා. ඔහු නැත්නම් අමරවීර මහතා එහෙම කියන්නේ නැහැ. හැත්තෑ දෙනෙකුගේ අයිතිය උදුර ගන්න ඒ දෙන්නට අයිතියක් නැහැ. ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදය කොල්ල කන ආණ්ඩුව එක්ක කටයුතු කරන්න නරකයි. මේ ආණ්ඩුවේ හැටි ලෝකයටම ප‍්‍රකාශ කළ යුතුයි. මේක අවජාතක ආණ්ඩුවක්. මේකට බදු ගෙවන්න එපා කියා ජනතාවට කිව යුතුයි.
ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට පඩි වැඩි කළේ තමන්ට පස්සෙ වැඩිකර ගන්න පුළුවන් නිසා. එතකොට තමන්ට ඉබේම වැඩි වෙන නිසා. මෙයාල ජනතා හිතවාදි නම් කරන්න තිබුණේ 2010 දි ගෙනා මේ යෝජනාව ජනතා හිතවාදි නොවන නිසා අහෝසි කරනවා කියල අහෝසි කරන්නයි. නමුත් කරන්න හදන්නේ පස්සෙ වැඩි කරගෙන හිඟ මුදල් එක්ක ගන්නයි. පාර්ලිමේන්තුවේ විපක්ෂයෙන් මේ හඩ පැන නොනගින්නේ නම් ජනතාවගෙන් හෝ පැන නැගිය යුතුයි. ’’ යැයි ද තිරාණගම මහතා කියා සිටියේය.
දේශ පේ‍්‍රමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හියන් සහ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වසන්ත බණ්ඩාර මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වී සිටියහ.

(ඡායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)