හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව ලැබී ඇති නිසා ඔහුට යථා කාලයේදී ඡන්ද අයිතිය ද හිමිවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
සරත් ෆොන්සේකා මහතාට යළි ඡන්ද අයිතිය ලබාදිය හැකි කාලය පිළිබඳව තමා සිය නීතිඥයින්ගෙන් විමසූ බවද කොමසාරිස්වරයා කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී සරත් ෆොන්සේකා මහතාට එය ලබාදීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳව විමසා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා තමාගෙන් ලිඛිත විමසීමක් කර තිබෙන බවද දේශප්‍රිය මහතා කීවේය.
මේ බව කියමින් මන්ත්‍රීවරයා තමාට පසුගිය 21 වැනිදා ලිපියක් එවා තිබූ බව කී මැතිවරණ කොමසාරිස්වරයා එසේ කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා තමන් එය දෙපාර්තමේන්තුවේ නීති අංශයට යොමු කළ බවද සඳහන් කළේය.

