( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීම අභියෝගයකට ලක් කරමින් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප‍්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කළේය.
එම පෙත්සම විභාගයට ගැනීමට තරම් ප‍්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම නිෂ්ප‍්‍රභ කරන ලදී.
මෙම පෙත්සම සිසිර ආබෲ , නලින් පෙරේරා සහ ප‍්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන්ගෙන් යුතු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී එම විනිසුරු මඩුල්ල විසින් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන ලදී.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් නොවන සරත් ෆොන්සේකා මහතාට එම පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු ලෙස පත්වීම සහ කටයුතු කිරීමට කිසිදු අයිතියක් නොමැති බවට ප‍්‍රකාශ කරන ලෙසද ඉල්ලා දකුණු පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු සහ නීතඥ මේජර් අජිත් ප‍්‍රසන්න මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
මෙහි වගඋත්තරකරුවන් ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා , එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් ,මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය සහ එම කොමිසමේ සමාජිකයින් ,පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක යන මහත්වරුන් පිරිසක් නම් කරනු ලැබ තිබිණි.
පෙත්සමේ මෙසේද සඳහන් වේ.
මෙම පෙත්සමේ ඉකුත් 2015 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයට සරත් ෆොන්සේකා මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් තරඟ කළ නමුත් පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ බව සඳහන්වේ.
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකුවූ එම.කේ.ඞී.එස්. ගුණවර්ධන මහතා 2016 ජනවාරි මස 19 වැනිදින අභාවප‍්‍රාප්ත වූ අතර එයින් පුරප්පාඩු වූ මන්ත‍්‍රී අසුන සඳහා ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත්කර තිබේ.එම පත් කිරීම පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 99 වැනි වගන්තියට පටහැනි බව පෙත්සමේ සඳහන්වේ.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනම පක්ෂයක නායකයෙකු වන බැවින් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවේ හෝ ජාතික ලැයිස්තුවේ ඔහුගේ නම සඳහන්ව නොතිබූ බව පෙත්සමේ දැක්වේ. එසේ තිබියදී පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී අසුනට ඔහු පත්කිරීම නීතිවිරෝධී මෙන්ම ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කරන්නක් බවද පෙත්සමේ සඳහන්වේ.