තම කාර්යමණ්ඩලය වෙත සිංහල බස කතා කරන පිරිස් බඳවාගන්නා බව ෆේස්බුක් සමාගම සඳහන් කරයි. ෆේස්බුක් සමාජ ජාලයේ සිංහල බසින් පළවන වෛරී සහ ජනයා කුපිත ප්‍රකාශ හඳුනාගැනීම එලෙස සිංහල කතා කරන පිරිස් බඳවා ගන්නා බව ද එම සමාගම සඳහන් කර සිටී.
මහනුවර ඇති වූ මුස්ලිම් විරෝධී කලකෝලහාල වලින් මාස තුනකට පසු ෆේස්බුක් සමාගම මෙම පියවර ගෙන තිබේ. මාර්තු මාසයේදී මහනුවර ඇති සිදුවීම් හේතු කරගනිමින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් තාවකාලිකව අවහිර කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය.
එම තාවකාලික තහනම සතියක මුළුල්ලේ පැවැති අතර ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළවන වෛරී, ජනයා කුපිත කරවන සහ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් පියවර ගන්නැයි ශ්‍රී ලංකා රජය ෆේස්බුක් සමාගමෙන් ඉල්ලා සිටියේය.
“අපි වැරැදි කළා. ඒ ගැන අපි තරමක් සෙමින් කටයුතු කළේ ” යැයි ෆේස්බුක් සමාගමේ ප්‍රකාශක අම්රිත් අහුජා පැවැසීය. සිංහල භාෂාව කතා කරන පිරිස් සමාගම වෙත බඳවා ගන්නා බව ද හෙතෙම කීය.
එහෙත් දැනට සේවය කරන සිංහල භාෂාව කතා කරන පිරිස සම්බන්ධයෙන් කරුණු අනාවරණය කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන සමඟ ද සාකච්ඡා කරන බව අම්රිත් අහුජා කීය.
“මේක අපට තියෙන ප්‍රශ්නයක්. අපි ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම සමඟ සාකච්ඡා කරනවා. ඔවුන්ට සිංහල මූලාශ්‍ර අවශ්‍යවී තිබෙනවා” යැයි ද ඩිජිටල් යටිතල පහසුකම් සහ විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කීය.
“ෆේස්බුක් සමාගම 2013 සිට සිදුවන බොහෝ දේවල්වලට වගකිව යුතුයි. ඒ සම්බන්ධයෙන් සාක්ෂි තිබෙනවා. පොරොන්දු දුන් කාලය අවසන්. දැන් අවශ්‍යවෙලා තියෙන්නේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. එමෙන්ම ඒ ක්‍රියාමාර්ග විනිවිදභාවයෙන් සහ වගවීම ආරක්ෂා කළ යුතුය” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පර්යේෂක සංජන හත්තොට්ටුව පැවැසීය.
ඒ.එෆ්.පී ඇසුරිනි
055