ෆේස්බුක් අවභාවිතය නැවැත්වීම කෘත්‍රිම බුද්ධි උපාංග දියුණු කරන්න යයි



 
ශ්‍රී ලංකාවේ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය අවභාවිත වීම නැවැත්වීමට ශක්තිමත් පියවර ගැනීමේ අවශ්‍යතාව   තේරුම් ගෙන ඇතැයි ද,    සිංහල භාෂාව කතා කරන පිරිස් වැඩි වශයෙන්   ප්‍රජා මෙහෙයුම් සහ අන්තර්ගත නිරීක්ෂණ  කණ්ඩායම්වලට සම්බන්ධ කරගැනීමට   බලාපොරොත්තු වන්නේයැයි ද ෆේස්බුක් සමාගම ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය පර්යේෂකයකු වන සංජන හත්තොටුව මහතාට දැනුම් දී තිබේ.
 
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්  වෙනුවෙන් එම දැනුම් දීම  කර ඇත්තේ   ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ඉන්දියාව සහ ආසියාව වෙනුවෙන් පත් කරන සිටින මහජන ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ෂිව්නාත් තුක්රල්ය. 
 
මහනුවර ඇති වූ සිදුවීම්වලින් අනතුරුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වන සංජන හත්තොට්ටුව සහ නාලක ගුණවර්ධන මහත්වරුන් සමඟ ෆේස්බුක් නියෝජිතයෝ  පසුගිය මාර්තු මාසයේදී කොළඹදී සාකච්ඡාවක් පැවැත්වූහ. ඒ සමඟ ෆේස්බුක් සමාගම වෙත සිවිල් ක්‍රියාකාරීන් නියෝජනය කරමින් සංජන හත්තොටුව මහතා විවෘත ලිපියක් යොමු කර තිබිණි.  ඊට පිළිතුරු යවමින් ෆේස්බුක් සමාගම මෙසේ ද සඳහන් කර තිබේ.
 
“පසුගිය මාර්තු මාසයේදී අපි සාකච්ඡා කළා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය අවභාවිත වීම නැවැත්වීමට ශක්තිමත් පියවර ගැනීමේ අවශ්‍යතාව අපි තේරුම් ගැන තිබෙනවා. ඒ නිසා සිංහල භාෂාව කතා කරන පිරිස් වැඩි වශයෙන් අපගේ ප්‍රජා මෙහෙයුම් සහ අන්තර්ගත නිරීක්ෂණය කණ්ඩායම්වලට සම්බන්ධ කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඒ සඳහා විවිධත්වයෙන් යුතු පාර්ශ්වකරුවන් රැසක් සමඟ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා. දේශීය සන්දර්භය වැඩි වශයෙන් අවබෝධ කරගැනීමටත් වෛරී ප්‍රකාශ සීමා කිරීමට අපි ඔබ වැනි සිවිල් සමාජ කණ්ඩායම්    ආදී පාර්ශ්ව රැසක් සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා”
 
සම්මත, නීති රෙගුලාසි උල්ලංඝණය කරන ෆේස්බුක් අන්තර්ගත හඳුනාගැනීම සඳහා කෘතිම බුද්ධි උපාංග වැඩිදියුණු කිරීම කෙරෙන ආයෝජන වැඩි කරන බව ද  එම ලිපියේ සඳහන් වේ.
 
055