ෆෙඩරල් ක්‍රමයකට රනිල් විරුද්ධයි


2005දී කොටි නායක ප්‍රභාකරන්ගේ ෆෙඩරල් යෝජනාව ඉවත දැමූ තමා අද මහ මැතිවරණය දිනන බව හොඳටම පෙනි පෙනී ෆෙඩරල් පාලනයක් ඇති කරන බවට දෙමළ ජාතික සන්ධානය සමග කිසිසේත්ම ගිවිසුමක්  අත්සන් කරන්නේ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.

2005 දී ප්‍රභාකරන්ගේ ෆෙඩරල් යෝජනාවට එකඟවූයේ නම් ඔහුගේ පිහිටෙන් තමාට එදා ජනාධිපති වීමට බෙහෙවින් ඉඩ තිබූ නමුත් ඒ යෝජනාව ඉවත දැමූ බව සිහිපත් කළ වික්‍රමසිංහ මහතා පැවසූයේ එදත් අදත් කවදත් තමා ෆෙඩරල්වාදය නොපිළිගන්නා බවයි.

‘ලංකාවට ෆෙඩරල් පාලනයක් ඕනෑ නැහැ. මගේ වැඩපිළිවෙළ ගම දක්වා බලය බෙදා හැරීමයි. පොකුරු ගම්මාන ග්‍රාම රාජ්‍ය ඇතිකර ආගමික නායකයින් ඇතුළු පොදු නියෝජිතයන් මගින් බලය ගමට බෙදා හැරීමයි.‘ වික්‍රමසිංහ මහතා එම ප්‍රකාශය කළේ බලයට පැමිණියහොත් ෆෙඩරල් ක්‍රමයක් සඳහා දෙමළ ජාතික සන්ධානය සමග ගිවිසුමකට එළඹෙන්නේදැයි මාධ්‍යවේදියකු ඇසූ පැනයට පිළිතුරු දෙමිනි.

ඔහුට බලය ලැබුණහොත් පිහිටවීමට යන ජාතික ආණ්ඩුවට ජනතා විමුක්ති පෙරමුණ එකඟවේදැයි තවත් මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් යොමු කළේය.

අගමැති ඊට මෙසේ පිළිතුරු දුන්නේය.

‘ඔවුන් ඇමැතිකම් බාරගන්නම ඕන නෑ. උපදේශක කාරක සභාවලට එන්න පුළුවන්. දින 100 වැඩපිළිවෙළ යටතේ එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක වුණා. පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ඇමරිකාවේ, ජර්මනියේ ඉතාම සාර්ථකයි. කාරක සභා සභාපතිවරයකුට ඇමැතිවරයකුට වඩා වැඩ කළ හැකියි‘

එම මාධ්‍ය සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන කරු ජයසූරිය, පාඨලී චම්පික රණවක හා අර්ජුන රණතුංග යන මහත්වරුද එක්ව සිටියහ.