(බිඟුන් මේනක ගමගේ)
ෆෙටෝ (FETO)හෙවත් ෆට්තුල්ලා නමැති සංවිධානය හා තුර්කි ආණ්ඩුව අතර ඇත්තේ අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්නයක් යැයි ද ෆෙටෝ සංවිධානය අයි.එස්.අයි.එස් වැනි මූලධර්මවාදී ත්‍රස්ත සංවිධානයකට සම කළ නොහැකි යැයි ද ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට කීය.
තුර්කි රජයේ තහනමට ලක්ව ඇති ෆෙටෝ සංවිධානය වත්මන් තුර්කි රජය පිහිටුවීමට කාලයක් තිස්සේ දේශපාලන සහාය දුන් කණ්ඩායමක් යැයි ද 2016 දී රාජ්‍ය බලය ඇල්ලීමට සිදු කළ අසාර්ථක කුමන්ත්‍රණයකින් පසුව ඔවුන් තහනමට ලක්ව ඇතැයි ද එම නිලධාරියා කීය.
දේශපාලන කුමන්ත්‍රණයෙන් පසුව එහි සාමාජිකයන් දේශපාලන රැකවරණය පතා විදේශයන්ට පැන ගොස් ඇතැයි ද ලංකාවට පැමිණි බව කියන සාමාජිකයන් 50 දෙනා ද එවැන්නන් යැයි සැක කරන්නේ යැයි ද එම නිලධාරියා සඳහන් කළේය.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා මේ බව පැවසුවේ තුර්කි ත්‍රස්ත කණ්ඩායමක් මීට දෙවසරකට පෙර ලංකාවට පැමිණ ඇති බවට තුර්කි තානාපති කාර්යාලයෙන් විදේශ අමාත්‍යංශයට නිකුත් කර තිබූ රහස්‍ය වාර්තාවක් ගැන විමසීමේදීය.
විදේශ කටයුතු අමාත්‍යංශය මේ වනවිට යම් පියවරක් ගෙන ඇතිදැයි විමසීමට එහි මාධ්‍ය ප්‍රකාශකවරිය සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද ඇය විදෙස්ගතව සිටි බැවින් යුරෝපය හා මධ්‍යම ආසියාව අයත් අංශයේ ප්‍රධානී එස්. කේ. සේමසිංහ මහතාගෙන් විමසුව ද ඔහු ඊට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කළේය.
විදේශ කටයුතු අමාත්‍යංශය අදාළ පුද්ගල කණ්ඩායමේ තොරතුරු විධිමත්ව තම දෙපාර්තමේන්තුවට ලබා දී ඉල්ලීමක් කළහොත් ඔවුන් ගැන විස්තර සොයාගත හැකි බව මේ ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමේදී නිලධාරියෙක් පැවසුවේය.

