ෆින්ලන්ත ව්‍යවසායන් වැඩිකර ගැනීමට අගමැති සාකච්ඡාවක


(රොමේෂ් ධනුෂ්ක සිල්වා ෆින්ලන්තයේ හෙල්සෙන්කි නුවර සිට)
 
ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ආර්ථික සහයෝගීතාව තව තවත් පුළුල් කරලීම සඳහා ෆින්ලන්ත ව්‍යවසායන් වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාවට කැඳවා ගැනීමටත්, ඒ ඔස්සේ දෙරට අතර සම්බන්ධතාවයන් ශක්තිමත් හා අර්ථවත් කරලීමටත් ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වික්‍රමසිංහ මහතා එසේ ප්‍රකාශ කළේ සිය ෆින්ලන්ත නිල සංචාරය අරඹමින්, ෆින්ලන්තයේ ප්‍රධාන පෙළේ ව්‍යවසායක ආයතන තුනක් සමග සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදීය.
අද (09 වන දා) දහවල් හෙල්සින්කි නුවර ෆින්ලන්ත මන්දිරයේ දී පැවති මෙම දිවා භෝජන සාකච්ඡාවට ෆින්ලන්තයේ නිල ආනයන ණය සමාගම වන ෆින්වේරා (Finnvera), නෝර්ඩික් ආයෝජන බැංකුව (Nordic Investment Bank) සහ ෆින්ලන්තයේ ප්‍රමුඛ තාක්‍ෂණ සේවා සැපයුම් ආයතනයක් වන ඔටොටෙක් (Outotec) යන ව්‍යවසායයන්හි ඉහළ පෙළේ නිලධාරීහු සහභාගී වූහ.
තම ආයතනයන්හි සේවා කාර්ය භාරයන් හා විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි තම ආයතනයන්ට සිදු කළ හැකි සේවාවන් සම්බන්ධව ඒ ඒ ආයතන කරුණු ගෙනහැර දක්වන ලදී. ශීඝ්‍ර සංවර්ධන මාවතකට එළැඹ ඇති ශ්‍රී ලංකාව තුළ තමන්ට සිදු කළ හැකි ආයෝජන හා ව්‍යාපෘති පිළිබඳව ද ආයතන ප්‍රධානීහු තොරතුරු ඉදිරිපත් කළහ.