ෆයිසර්ට - කිරිඇල්ලට එරෙහිව පැමිණිල්ලක්


රේඛා තරංගනී ෆොන්සේකා

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන අමාත්‍යවරු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඡන්ද දායකයින්ට තර්ජනය කරමින් ප්‍රකාශ සිදු කරන බව සඳහන් කරමින් ලිඛිත පැමිණිල්ලක්  නීතිඥ සංවිධාන ජාතික එකමුතුව  මැතිවරණ කොමිසමට අද (31) බාර දෙනු ලැබීය.

මෙහිදී ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා ස්වකීය කතාවේදී තමා පළාත් පාලන ඇමතිවරයා බවත් පළාත් පාලන ආයතන සඳහා මුදල් වෙන් කරන්නේ තමන්ට අවශ්‍ය විදියට බවත් තමන්ගේ පළාත් පාලන ආයතනයට සල්ලි අවශ්‍ය නම් තමන්ට ඡන්දය දෙන ලෙසටත් ජනතාව වෙත තර්ජනාත්මක  ඉල්ලීමක් කර ඇති බවත් බාර දුන් ලිපියේ සඳහන්ව ඇත. 

එමෙන්ම අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද එජාප මැතිවරණ වේදිකාවක මේ හා සමාන තර්ජනාත්මක ඉල්ලීමක් ජනතාවට කර ඇති අතර එහිදී ඔහු පළාත් පාලන ආයතන වලට සල්ලි දෙන්නේ අගමැතිවරයා බවත් අගමැතිවරයා සල්ලි දෙන්නෙ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන වලට පමනක් බවත් ඒ නිසා ආණ්ඩුවට අයත් නැති පක්ෂ වලට ඡන්දය නොදෙන ලෙසත් කළ ප්‍රකාශ පිළිඹඳවත් සිදුකළ ලිඛිත පැමිණිල්ලේ සඳහන්ව ඇත.

මෙම අවස්ථාවට නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ කැඳවුම්කරු නිතිඥ ආර් මනෝජ් ගමගේ සහ නිතිඥවරුන් වන ප්‍රියන්ත කරුණාතිලක,මහේෂ් කොටුවැල්ල,තුසිතා නාමලීද සිල්වා,එස් මානවඩු,වරුණ ජයසිංහ යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

රජයේ ප්‍රභල අමාත්‍යවරු දෙදෙනෙක් සිදු කරන මෙම ප්‍රකාශය මැතිවරණ නීති උල්ලංගනය කරමින් ජනතාවගේ ඡන්ද නිදහසට සිදුකළ ප්‍රභල තර්ජනයක් බවට නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ කැඳවුම්කරු නිතිඥ ආර් මනෝජ් ගමගේ මහතා පැවසීය.

එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත යටතේ 82 B සහ 82Cවගන්ති යටතේ මෙම අමාත්‍යවරුන් සිදුකර ඇති ප්‍රකාශ එම ආඥා පනත යටතේ සිදු කරනු ලැබූ වරදක් බව සඳහන් කරන මනෝජ් මහතා එකී පනතේ විධි විධාන ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදක් වන බවද  වැඩිදුරටත් පැවසීය.