ළමුන් 23 දෙනෙක් පාසලට ගන්නැයි සූරියවැව මව්පියෝ පාරට බසිති


 (දිලීප් ජයසේකර)


සුරියවැව ජාතික පාසලේ ප්‍රාථමික අංශයට ළමුන් 23 දෙනෙකු මෙතෙක් ඇතුළත් කර නොගැනිමට විරෝධය පළකරමින් මව්පියෝ සිය දරුවන්ද රැගෙන විත් සුරියවැව ජාතික පාසල ඉදිරිපිට සිට අද (04) විරෝධතාවයක නියැලුණහ.


විරෝධතාවයට එක්ව සිටින දෙමාපියන් පවසන්නේ තමන් සුරියවැව ජාතික පාසල අවට පදිංචි කරුවන් වුවත් මෙතෙක් තම දරුවන් සුරියවැව ජාතික පාසලේ ප්‍රාථමික අංශයට  ඇතුලත් කර ගැනිම විදුහල්පතිවරයා විසින් දිනෙන් දින ප්‍රමාද කර ඇති බවයි.


සිය දරුවන්ට පාසලක් අහිමිව මේ වන විට මාස 06ක් තිස්සේ තම දරුවන් නිවෙස්වලට වි සිටින බවයි දෙමාපියන් පවසන්නේ.විරෝධතාවයට එක්ව සිටි පිරිස පැවසුවේ තම දරුවන්ට සාධාරණ විසදුමක් ලබා දෙන තෙක් පාසල ඉදිරිපිට සිට අඛණ්ඩ සත්‍යග්‍රහයකද නිරත වන බවයි.


විරෝධතාවයට එක්ව සිටි එම්.ඒ.නිලන්ත මහතා මෙසේ පැවසිය.


මගේ පුතාට මේ වන විට පාසලක් අහිමිව මාස 06ක් තිස්සේ ගෙදර ඉන්නේ. දරුවා නිතරම අහනවා තාත්තේ මන් ඉස්කෝලේ යන්නේ නැද්ද කියලා. මම මේ සම්බන්ධයෙන් කියන්න තියෙන හැම කෙනෙකුටම කිව්වා නමුත් තවම දරුවට පාසලක් ලැබුණේ නෑ.මම සුරියවැව ජාතික පාසලේ ආදි ශිෂ්‍යයෙක්.මගේ වැඩිමල් පුතා ස්කෝලේ යන්නෙත් සුරියවැව ජාතික පාසලට. නමුත් මගේ බාල පුතා පාසලට ගන්න බෑ කියනවා.


ඒ.බී.තිළිණි අනුරාධා මහත්මිය.


මේ අවුරුද්දේ දැන් මාස 06ක් ගෙවිලත් දරුවට තවම පාසලක් නෑ. අපිට ළගම පාසල වෙන්නේ මේ සුරියවැව ජාතික පාසල. විදුහල්පති වරයා කියනවා චක්‍ර ලේඛ වලට අනුව පාසලට සිසුන් අරගෙන ඉවරලු. එතකොට අපි අහනවා චක්‍රලේඛ වල එහෙම තියේ නම් මේ ලමයින්ට අපි මොකද කරන්නේ. අපේ ළමයින්ට අධ්‍යාපන වරම් නැතිද.විදුහල්පති තුමා අපිට කිව්වා ලමයි පාලසට ගන්න කැමතියි කියලා වෙලෙද සංගමයෙන්, ත්‍රි රෝද රථ සංගම් වලින් ,බස් සංගම් වලින් පවා ලියුම් ගේන්න කිව්වා.අපිට නම් තේරෙන්නේ නැ ළමයෙක් ස්කෝලෙට දමන්න මේ අයගෙනුත් ලිපි ලේඛන හා කැමැත්ත ගන්න ඕනද කියලා.