ළමාරක්ෂකය තොරතුරු පනත කඩතැයි අමාත්‍යංශයට පැමිණිලි


බිඟුන් මේනක ගමගේ 
 
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් සුදුසුකම්ලාභීන් සිටියදී දේශපාලන ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට යාම ගැන 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම අධිකාරියෙන් තොරතුරු ඉල්ලා සිටිය ද එම තොරතුරු ලබා නොදෙන්නේ යැයි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශට ලිඛිතව පැමිණිලි කර ඇත.
 
ජනාධිපති ලේකම් කාර්යාලයට හා අගමැති කාර්යාලයට ද තමන් ලිඛිතව කළ කරුණු දැනුම්දීමට අනුව අදාළ ආයතන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දැනුම් දී ඇති නමුත් අමාත්‍යංශය ද මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැතැයි ඔවුන් කළ පැමිණිල්ලේ සඳහන් වේ.
 
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය හා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යහපාලන මූලධර්ම ආරක්ෂා කරමින් මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන්නේ යැයි ද ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය පවසයි.
 
කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා හෙවත් ඔම්බුඩ්ස්මන්වරයා ද මෙම සිදුවීම ගැන වෙන වෙනම විමර්ශන දෙකක් පවත්වයි.