ළමාරක්ෂක පත්වීම් හරි නම් දෙන්න - චන්ද්‍රානි බණ්ඩාර



 
බිඟුන් මේනක ගමගේ
 
ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරීන් ලෙස පත්වීම් ලැබීමට සූදානම්ව සිටින උපාධිධාරීන් 116 දෙනා තෝරාගෙන තිබෙන්නේ විධිමත් සම්මුඛ පරීක්ෂණයකින් නම් එම පත්වීම් කඩිනමින් ලබාදීමට ක්‍රියා කරන්නැයි කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය එම අමාත්‍යාංශ ලේකම්වරියට ලිඛිතව දන්වා ඇත.


මෙම දැනුම්දීම කරඇත්තේ විධිමත් සම්මුඛ පරීක්ෂණයකින් තමන් තෝරාගෙන තිබියදී මාස අටකට ආසන්න කාලයක් තිස්සේ සිදුවන සිය පත්වීම් ලිපි ප්‍රදානයේ පමාව ගැන මෙම උපාධිධාරීන් පිරිස ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාට කළ දැනුම් දීමකට අදාළව මන්ත්‍රීවරයා ඇමැතිවරියගෙන් කළ විමසීමකට පසුවය.


බිමල් රත්නායක මන්ත්‍රීවරයා මේ ගැන අගමැතිවරයාට ද ලිඛිතව පැමිණිලි කර ඇත.


ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හා ඔම්බුඩ්ස්මන්වරයා ද මේ සිදුවීම ගැන වෙනම විමර්ශන පවත්වයි.