ළමාරක්ෂක අපේක්ෂකයෝ මහානාහිමිවරුන්ට දුක කියති


(බිඟුන් මේනක ගමගේ)
 
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට තමන් තෝරාගෙන තිබියදී මාස හයකට අධික කාලයක් තිස්සේ සිය පත්වීම් අසාධාරණ ලෙස පමාකරමින් සිටීම ගැන මැදිහත්වන්නැයි ඉල්ලා පත්වීම් අපේක්ෂිත සුදුසුකම්ලාභීහු ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටිති.

 
තමන්ට සිදුවන අසාධාරණය ගැන ජනාධිපතිවරයාට අගමැතිවරයාට කාන්තා හා ළමා කටයුතු ඇමැතිනියට ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ සභාපතිවරයාට දිගින් දිගටම පැමිණිලි කළ ද ඔවුන් ඊට කිසිදු සැලකිල්ලක් නොදක්වන බැවින් මෙසේ මහා සංඝරත්නයට සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමට තීරණය කළේ යැයි ලිපියක් යොමුකරමින් ඔවුහු පවසා සිටිති.
 
ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරි තනතුර සඳහා පසුගිය වසරේ මැයි 28 වැනිදා ප්‍රසිද්ධ කළ පුවත්පත් දැන්වීමක් මගින් අයැදුම්පත් කැඳවා ඇති අතර එම වසරේම ඔක්තෝම්බර් 12 වැනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී  විධිමත් සම්මුඛ සාකච්ඡාවක් පවත්වා 116 දෙනෙකු තෝරා ගත් නමුත් තම පත්වීම් දිගින් දිගටම පමා කරමින් ඇතැයි එහි සඳහන් කර ඇත.
 
ජාතියේ දරුවන්ගේ සුබසිද්ධිය පතා නිරන්තරයෙන් අනුශාසනා කරන නායකත්වයක් හැටියට මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ද කරුණා පෙරදැරිව මැදිහත් වී තමන්ට පිහිටවන්නැයි ඔවුහු සිය ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
 
මෙම පත්වීම් සම්බන්ධයෙන් ලංකාදීප මින් පෙර කළ විමසීමකදී ජාතික ළමාරක්ෂක අධිකාරිය මෙම මස මුලදී ඒවා ලබාදෙන බවට පොරොන්දු වූ නමුත් මේ වනවිට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මගින් මෙම පත්වීම් ක්‍රියාවලිය ගැන විමර්ශනයක් ආරම්භ කර ඇත.