ළමා වෙළෙඳාම් සොයන්න ආවේක්ෂණ කණ්ඩායමක්


(විනීතා එම් ගමගේ)

මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් ළමයින් වෙළඳාම් කටයුතු සඳහා යොදවන පාර්ශව පිළිබඳව සොයා බැලීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් විශේෂ ආවේක්ෂණ කණ්ඩායමක් දිවයිනේ තෝරාගත් ප‍්‍රදේශ කිහිපයක් ආශ‍්‍රිතව යොදවා තිබේ. 

ළමයින්ගේ දෙමව්පියන්ට හෝ භාරකරුවන්ට වුවද ළමයකු මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් වෙළඳාමේ යෙදවීම නිතියෙන් තහනම් බව ද එම අධිකාරිය කියයි. 

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය අනුව මෙන්ම රටේ පවතින නීතිය අනුවද මෙලෙස ළමයින්ව වෙළෙඳ කටයුතු සඳහා යොදවා ගැනීම වරදක්වේ. 

ඇතැම් ස්ථානවල ළමයින් පෙන්වා ඔවුන්ට දරුණු අසනීප ඇති බව පවසා සාමාන්‍ය ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ සිදුවීම් හා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ළමයින්ව වෙළඳාම් කිරීමට යොදවා ගැනීමේ සිදුවීම් පිළිබඳ තොරතුරු ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ මරිනි ද සිල්වා මහත්මිය ලංකාදීපයට  පැවැසුවාය.   

ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් මේ පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ආවේක්ෂණ කණ්ඩායමක් යෙදවූ බවද ඇය කීවාය. 

එවැනි සිදුවීම් හරහා ළමයාගේ මනසට විශාල වශයෙන් අහිතකර බලපෑම් ගෙනදෙන අතර එවැනි සිදුවීම් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 1929 ශ‍්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුවත් කරන මෙන්  ජනතාව ගෙන් ඉල්ලා සිටින බව ද ඇය වැඩි දුරටත් පැවැසුවාය.