ළමා රෝහලේ කොවිඩ් වාට්ටු 2ක් සාමාන්‍ය ප්‍රතිකාරවලට නිදහස් කරයි


(සුජිත් හේවාජුලිගේ)

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ්  ආසාදිත දරුවන් සඳහා වෙන් කෙරුණු  වාට්ටු පහෙන් ප්‍රධාන වාට්ටු දෙකක්  සාමාන්‍ය ප්‍රතිකාර සඳහා නිදහස් කෙරුණු බව එම රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.

රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 15ක් දක්වා පහත බැස තිබීම  නිසා වාට්ටු  දෙකක්  සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා මෙසේ නිදහස් කිරීමට හැකිවූ බවද  හෙතෙම සඳහන් කළේය.

කොවිඩ්  ආසාදිත දරුවන් පහළොස් දෙනා අංගොඩ බෝවන රෝග විද්‍යායතනය ට මාරුකර යවා අනෙක්  වාට්ටු  තුනද සාමාන්‍ය ප්‍රතිකාර සඳහා නිදහස්  කිරීමට බලාපොරොත්තු වන  බව  හෙතෙම සඳහන් කළේය.

කොවිඩ්  රෝගීන්ට වෙන් කරනු ලැබ තිබී සාමාන්‍ය ප්‍රතිකාර සඳහා මෙසේ නැවත නිදහස් කරනු ලැබ ඇත්තේ  රූමටික රෝග
සඳහාවූ වාට්ටුව සහ සාමාන්‍ය ප්‍රතිකාර සඳහා වෙන්වූ වාට්ටුවක්ය.

කොවිඩ්  තුන්වෙනි රැල්ල ආරම්භවීමත් සමග කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට එකවර ඇතුළත් කරනු ලැබ සිටි දරුවන් සංඛ්‍යාව 200 ක් දක්වා ඉහළ ගියේය.

මේ අතර කොවිඩ්  ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව අඩු වුවත් ඩෙංගු ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාවද කොවිඩ් රෝගයට ගොදුරු වීමෙන් පසු  බලපෑම්වලට  ලක් වූ (බහු ඉන්ද්‍රිය ආසාදන වැනි)දරුවන්ගේ සංඛ්‍යාවද  සැලකිය යුතු ලෙස වැඩිවී ඇති බවත්  විශේෂයෙන්ම දරුවන් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මවුපියන් විශේෂ අවධානය යොමු කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

වැස්සත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ වැඩි නැඹුරුවක් දක්නට ලැබෙන බව ඔහු වැඩිදුරටත්  කීවේය.