ළමා ආරක්ෂක අධිකාරිය සකස් කළ නිර්දේශ වසරක් හමස් පෙට්ටියේ


(බිඟුන් මේනක ගමගේ) 
 
පාසල් සිසුන්ට කායික දණ්ඩනය වෙනුවට විනයගත කිරීමට විකල්ප ක්‍රමවේද යෝජනා කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සකස් කළ වාර්තාවේ නිර්දේශ වසරකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක කර නැතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 නීති සංශෝධන හා එකඟතා ඇතිකරගැනීම් ඇතුලු නිර්දේශ 17 ක් අන්තර්ගත වන පරිදි මෙම වාර්තාව සකස් කරනු ලැබුවේ ඊට අදාළ සමීක්ෂණයකින් පසුව යැයි ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවසීය.
 
 මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කෙරුණු කමිටුවක් මගින් සකස් කළ මෙම වාර්තාව 2017 මැයි මාසයේදී ප්‍රකාශයට පත් කර ඇති අතර එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂණ ප්‍රඥප්තිය වඩාත් ශක්තිමත් කෙරෙන යෝජනා රැසක් ඊට අන්තර්ගතව ඇතැයි ද එම නිලධාරියා කීය.
 
 අදාළ වාර්තාව බලාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයට වාර්තාවක් යවා ඇතත් ඊට නිසි ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නැතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 ශ්‍රී ලංකාව යනු 1992 දී එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂණ ප්‍රඥප්තියට මුලින්ම අත්සන් තැබූ රාජ්‍යක් වන අතර 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත සම්මත කිරීමෙන් ඊට අදාළ එකඟතාවලට නෛතික බලයක් හිමි කෙරිණි.