ළමා ආරක්ෂක අධිකාරියට දත්ත පදනමක් සකසයි



 
 
(බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන) 
 
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මෙතෙක් කල් විශාල අඩුපාඩුවක්ව පැවැති ජාතික දත්ත පදනමක් සකස් කිරීමට කටයුතු කරන බව එහි නව සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා පැවැසීය.
 
මෙම දත්ත පදනම සැකැසීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක පාසල සමඟ සාකච්ඡා කළ බවත් මේ වනවිට එහි මූලික සැලැසුම් සකස් කරමින් පවතින බවත් සභාපතිවරයා කීය.
 
ළමා අපචාර සම්බන්ධයෙන් ජාතික දත්ත පදනමක් සැකැසීම හා එය පවත්වාගෙන යෑම 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතින් පැවැරුණු ප්‍රධාන කාර්යයක් වුව ද මෙතෙක් කල් එය සකස් කර නොතිබිණි.
 
මේ නිසා මෙතෙක් කලක් ළමා අපචාර සම්බන්ධයෙන් ජාතික දත්ත ඒකරාශි කිරීමේ දී ප්‍රධාන මූලාශ්‍රය ලෙස සැලකුණේ පොලිස් දෙපාර්තමේන්තුවය.