කොළඹ - යාපනය කන්කසන්තුරේ ‘උත්තර දේවි‘ දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව ලබන ඉරිදා (27) උදෑසන කොළඹ දුම්රිය ස්ථානයෙන් ආරම්භ කෙරේ.
එදින උදෑසන 6 ට කොළඹ දුම්රිය ස්ථානයේ සිට යාපනය කන්කසන්තුරේ දක්වා උත්තරදේවී දුම්රිය ගමන් අරඹයි.
එහි සමාරම්භක උත්සවය ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
‘උත්තර දේවි‘ කොළඹ - යාපනය කන්කසන්තුරේ දක්වා ධාවන කරනුයේ උතුරු - දකුණු සංහිඳියාව සංකේතවත් කරමින් වීම විශේෂත්වයකි.
ඒ අනුව මෙම සමාරම්භක චාරිකාවට සමගාමීව යාපනය දිස්ත්‍රික් පාසල් ළමුන් සඳහා පාසල් බෑග්, පොත්පත් ඇතුළුව පාසල් උපකරණ දකුණෙන් ගෙන යාමට ද වැඩසටහන සංවිධානය කර තිබේ.
මෙම සමාරම්භක සංචාරයට සමගාමීව කිලිනොච්චිය අරවියල් නගර් උප දුම්රිය ස්ථානයද විවෘත කෙරෙනු ඇත.
උත්තරා දේවි දුම්රියට යොදවන නව බලවේග කට්ටය ඉන්දියාවෙන් ආනයනය කර ඇති අතර එහි මැදිරි සංඛ්‍යාව හයකි.
එයින් වායු සමනය කළ පළමු පංතියේ මැදිරියක් මෙන්ම වායු සමනය කළ දෙවැනි පංතියේ මැදිරියක්ද මෙම දුම්රියට අයත් වේ.
පළමු පංතියේ මැදිරියේ ආසන 52ක් ඇත. දෙවැනි පංතියේ ආසන 64කි. තුන්වැනි පංතියේ එක් මැදිරියක ආසන 152ක් වේ.
ඒ අනුව මෙ දුම්රියෙන් එකවර ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 724 කි.
ගම්පහ, පොල්ගහවෙල, කුරුණෑගල, මහව, ගල්ගමුව, අනුරාධපුර, මැදවච්චිය, වව්නියා, මාන්කුලම්, කිලිනොච්චි, පලෙයි, කොඩිකාමන්, යාපනය සහ යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා වූ සියලු දුම්රිය ස්ථානවල මෙම දුම්රිය නවත්වනු ලබයි.
මෙම දුම්රියේ ගමන් ගන්නා මගීන්හට ජී. පී. එස් තාක්ෂණය ඔස්සේ ඉදිරියේදී තමන් බැසීමට බලාපොරොත්තුවන දුම්රිය ස්ථානය පිළිබඳ තොරතුරු පූර්වයෙන් දැනගත හැකිවීම සුවිශේෂි කරුණකි.
එමෙන්ම උතුරේ පාසල් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීමේ සමාජ සත්කාරමය වැඩසටහනට සහය දැක්විය හැකි පිරිස් එම උපකරණ ලබන සෙනසුරාදා (26) දහවල් 12ට පෙර මරදාන විජයවර්ධන මාවතේ පිහිටි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට හෝ නාරාහේන්පිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට හෝ භාර දෙන ලෙස ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ඉල්ලා සිටි.
මරදාන විජයවර්ධන මාවතේ පිහිටි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට පාසල් උපකරණ භාර දෙන්නේ නම් 071/ 8426868 යන දුරකථන අංකයෙන් රේණුකා විමසීමෙන්ද,
නාරාහේන්පිට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට පාසල් උපකරණ භාර දෙන්නේ නම් 077/1056062 යන දුරකථන අංකයෙන් ඉන්දික විමසීමෙන්ද වැඩිදුරට තොරතුරු ලබා ගත හැකිය.
යාපන දිස්ත්‍රික් පාසල් ළමුන්ට එම පොත් පත් බෙදා දීම සඳහා එම පාසල් උපකරණ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දීම 27 වැනිදා ඉරිදා පස්වරු 01.00ට යාපනය දුම්රිය ස්ථානයේදී සිදු කෙරේ.
(36698)