හොස්ටල් බඩු සොරකමට එස්.බී හවුල්දැයි උසාවිය අහයි


හිටපු උසස් අධ්‍යාපන හා වත්මන් සමාජ සුබ සාධන ඇමැති එස්.බී.දිසානායක කොළඹ, කුරුඳුවත්තේ මන්දිරයක චංචල දේපළ සොරකම් කළේද නැද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ දැයි දන්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.

අභාවප්‍රාප්ත නාරිවේද වෛද්‍යවරයකු වන දොස්තර සිවා සින්නතම්බි කොළඹ කුරුඳුවත්තේ හේවා ඇවනිව්හි අංක 11 දරණ නිවස කොළඹ සරසවියේ උපාධි අපේක්ෂිකා නේවාසිකාගාරයක් ලෙස පරිත්‍යාග කළ බවද ඇමැති දිසානායක තවම සැකකරුවකු නොවන බවද පරීක්ෂණ අවසන් නැති බවද රහස් පොලිසිය මහේස්ත්‍රාත්වරයාට කීවේය.

දිසානායක මහතා කීර්ති නාමය කෙළෙසීම සඳහා මාධ්‍ය මගින් දූෂමාන ආරංචි පතුරුවන හෙයින් එම සිද්ධියේ සැකකරුවන් කවුදැයි උසාවියට පවසන්නැයි දිසානායක මහතාගේ නීතිඥවරුන් වන කේ.වී.තවරාසා හා කැළුම් ඔබේසේකර මහත්වරු කරුණු කියා සිටියහ.

දොස්තර සින්නතම්බිගේ අන්තිම කැමති පත්‍රය අනුව ඇගේ මරණින් පසු ඇගේ බෑණා වසර 2000 දී එහි පදිංචි වී සිටි බවත් 2010 දී ඔහු මියයාමෙන් පසුව දොස්තර සින්නතම්බිගේ බාරකරුවන කන්දයියා නීලකන්දන් මෙම දේපළ කොළඹ සරසවියට තෑගි ඔප්පුවකින් ප්‍රදානය කළ බවත් එහෙත් මේ වනතුරු එම ගොඩනැගිල්ල කොළඹ සරසවියේ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයක් ලෙස භාවිතා කර නැත.

වැඩිදුර විභාගය නොවැම්බර් 4ට කල් තැබිණි.