හොරොව්පොතානෙන් අත්අඩංගුවට ගත් තවුහීත් ජමාත් සැකකරුවන් පස්දෙනා රිමාන්ඩ්


(පැතුම් දර්ශන)

තව්හීත් ජමාත් සංවිධානය සහ එහි නායක සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා අන්තවාදී දේශන සිදුකළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා අද (27) නියෝග කළේය.

ඉකුත් 24 වැනිදා අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ පොලිසියට ලැබී ඇති බලතල අනුව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ සංවර්ධන සහකාරවරයෙකු ලෙස සේවය කළ මොහිදින් බාවා නවුපර්, කැබිතිගොල්ලෑව ඇල්ලැව අරාබි පාසලෙහි විදුහල්පති සෙයුනිදින් තලිප තුල්ලා, කන්තලේ අරාබි විද්‍යාලයේ ගුරුවරයකු වන සෙනූල් ආබ්දින් ඉර්ෂාන්, වීරසොලෙ විදුහලෙ උප ගුරුවරයෙකු ලෙස සෙවය කල ලෙබ්බේ තම්බී ජස්මින් සහ නුර්ගෙ සකරියා  යන සැකකරුවන් පස් දෙනෙකු ය.

සහරාන් හසීම් නමැත්තා සමඟ සහ තව්හීත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වා ඇති මෙම සැකකරුවන් අනුරාධපුර, ත්‍රිකුණාමලය, කුච්චවේලි, යන ප්‍රදේශවල අන්තවාදී දේශනා පවත්වා ඇති බවටත් ත්‍රස්තවාදී ප්‍රහාරයට සැකපිට දැනට විදේශගතව සිටින ප්‍රධාන සැකකරුවෙකු සමඟ එක්වී ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට විවිධ ද්‍රව්‍යමය ආධාර සහ ලක්ෂ ගණනින් මුදල් ලබා දී ඇති බවටත් පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.