හොරණ රබර් කර්මාන්තශාලා හිමිකරු ඇතුළු තිදෙනාට ඇප


(කේ බුද්ධික කුමාරසිරි )


හොරණ බැල්ලපිටිය ප‍්‍රදේශයේ රබර් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරනු ලබන කර්මාන්ත ශාලාවක අපද්‍රව්‍ය ටැංකියකට වැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය යාම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර  සිටි එම කර්මාන්ත ශාලාවේ හිමිකරු රුපියල් ලක්ෂ දහයක ශරීර  ඇපයක් මත  මුදා හැරිමට  හොරණ මහේස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (11) නියෝග කළේය.


කළමණාකරු හා ප‍්‍රධාන රසායානාගාර පාලිකාව යන දෙදෙනාද  එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ශරීර ඇපයන් මත මුදා හැරීමටද මහෙස්ත්‍රාත්වරයා  නියෝග කළේය.


තවද මෙම සැකකරුවන් තිදෙනාට සෑම මසකම අවසන් ඉරු දින හොරණ පොලිසියේ පෙනී සිටින ලෙසද නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා එම ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ යෝජනාවක් මත මිය ගිය අය වෙනුවෙන් පළලමුව ලබා දුන් සහනාධාර දීමනාව වන රුපියල් ලක්ෂ දෙකහමාරට අමතරව තවත් රුපියල් ලක්ෂ දෙකාහාමාරක් ලබා දීමටද අදාල පාර්ශවයන්ට අවසර ලබා දුන්නේය.


ඇප නියම වූයේ කොළඹ කුරුදුවත්තේ පදිංචි අදාල රබර් කර්මාන්තශාලාවේ හිමිකරු  සරත් විජේරත්න යන ,  එම  කර්මාන්තශාලාවේ කළමණාකරු ලෙස කටයුතු කළ බොරලැස්ගමුව වේරහැර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රත්නසිරි එදිරිසිංහ සහ එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලිකාව ලෙස කටයුතු කළ හොරණ මුනගම දික්හේන පුර පදිංචි ඉනෝකා සංජීවනී යන තිදෙනාටය.