හොරණ රබර් කම්හලේ පරිසර බලපත්‍රය තහනම් කරයි


(විනීතා එම් ගමගේ)

පස්දෙනෙකුට මරු කැඳවූ හොරණ  බැල්ලපිටිය රබර් කම්හලේ පරිසර ආරක්ෂණ බලපත්‍රය තහනම් කළ බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 

අනතුරෙන් පසු කම්හල පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් කළ ස්ථානීය පරික්ෂාවකින් පසු දීර්ඝ පරික්ෂණයක් සිදුවන තුරු තාවකාලිකව එහි බලපත්‍රය තහනම් කළ බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.

එම කම්හලේ පාලනාධිකාරිය සේවකයින් ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිළිමත් වී නැතැයි පෙනී යන බව ද ජයසිංහ මහතා කීය.

සංවෘත ආකාරයෙන් පවත්වාගෙන යන අපදියර පිරිපහදු පද්ධතිය තුළ වායු ජනනය වී ඇති අතර කරාමය අරිද්දී එම වායු සේවකයින්ට වැදී ඇතැයි පෙනී යන බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා අපදියර පිරිපහදු පද්ධතිය නිසි කළමණාකරණයට ලක්ව නැති බව පෙනී යන්නේ යැයි ද කීය.

2008 වසරේ සිටි වරින්වර මෙම කම්හල ගැන පැමිණිලි ලද බවත් එවැනි අවස්ථාවල පරිසර ආරක්ෂණ බලපත්‍රය තාවකාලිකව තහනමට ලක්කරමින් එහි පරික්ෂාවන් සිදුකර නිසි ප්‍රමිතින් අනුගමනය කළ පසු යලිත් බලපත්‍රය නිකුත් කර ඇති බවත් ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.