(විනීතා එම්. ගමගේ)
ව්‍යාජ තොරතුරු යොදාගනිමින් විදෙස් රැකියාවකට යාමට සූදානම් වූ 18 හැවිරිදි වියේ පසු වූ තරුණියකගේ විදෙස් ගමන ශ‍්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් විසින් නවත්වා ඇතැයි කාර්යංශය කියයි.
මෙම තරුණිය වයස අවුරුදු 15 දී රැකියාව සඳහා කුවේට් රටට ගොස් ඇති අතර වසරක් එහි සේවය කොට ඇතැයි ද හෙළි වී තිබේ.
වව්නියාව ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම තරුණිය වෙනුවෙන් අන් අයෙකුගේ උප්පැන්න සහතිකයක් භාවිතා කර ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් සකස් කර ඇති අතර, විදේශ රැකියාවට පෙර පුහුණුව සඳහා කාර්යාංශයේ පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණ ඇත. එහි පුහුණුව ලබන අතරතුරදී එම මධ්‍යස්ථානයේ පුහුණු උපදේශිකාවක විසින් එම තරුණියගෙන් ප‍්‍රශ්න කොට ඇති අතර, එහිදී මෙම කරුණු අනාවරණය වී ඇත.
ඇය විදේශ රැකියාවේ සිට නැවත දිවයිනට පැමිණිමෙන් අනතුරුව විවාහ වී ඇති අතර, ඇතිවූ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් විදේශ ගතවීමට තීරණය කළ බව පවසා ඇත.
විදේශ රැකියා සපයන බලපත‍්‍රලාභියෙකුගේ ආධාර අනුබලදීමක් හෝ දැනුවත්වීමක් ඇතැයි කරුණු විමර්ශනවලදී අනාවරණය නොවුණ බැවින් විදේශ ගමන් බලපත‍්‍රය ව්‍යාජ ලෙස සකස් කිරීම හා ඊට ආධාර අනුබල දෙන පුද්ගලයින් එවැනි වැරදි සඳහා යොමුකිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කාර්යාංශයේ මිනිස් වෙළඳාමට එරෙහි විශේෂ ඒකකය මගින් මෙහි වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් සඳහා අවම වයස් සීමාවක් හඳුන්වා දී ඇති බවත් එම වයස් සීමාවන් වන්නේ සෞදි අරාබියට රැකියාව සඳහා යොමුවන කාන්තාවන් සඳහා අවම වයස අවුරුදු 25, කුවේට් රාජ්‍යයට අවුරුදු 23 හා අනෙකුත් මැදපෙරදිග රටවල් සඳහා කාන්තාවන්ට අවුරුදු 21 බවය.

