(මහේෂ් කිර්තිරත්න)
මාතලේ උකුවෙල කුරිවෙල ප්‍රදේශයේ නිවසක දිර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය හොර කච්චේරියක් වටලා නීති විරෝධී ලෙස සකස් කරන ලද ලිපි ලේඛන ඇතුළු බෝර වර්ගයේ පතරොම් සහ උපකරණ රාශියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මාතලේ උකුවෙල ප්‍රදේශයේ පදිංචි අයෙකි.
විවිධ තරාතිරමේ නිලධාරින් සහ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් සමග සිටින ඡායාරූප තබා ගෙන සිටි මොහු විවිධ අවශ්‍යතා සදහා පැමිණෙන පිරිස් වෙත ඉතා සුක්ෂම හා ව්‍යාජ ලෙස සකස් කර දෙන ලද විවිධ ජනප්‍රිය පාසල්වල අධ්‍යාපන සහතික, විශ්ව විද්‍යාල උපාධි සහතික, විභාග දෙපාර්තමෙන්තුව මගින් ලබා දෙන අධ්‍යාපන සහතික, උප්පැන්න සහතික, රජයේ විවිධ ආයතන රැසක ව්‍යාජ ලෙස සකස් කරන ලද ලිපි ශිර්ෂ, පළාත් පාලන ආයතන මගින් ලබා දෙන අදායම් බල පත්‍ර, ව්‍යාජ ලෙස සකස් කරන ලද බැංකු පොත්, ග්‍රාම සේවා සහතික, පොලිස් සහතික ඇතුලු ව්‍යාජ ලේඛන රාශියක් සහ ඒ සදහා යොදා ගන්නා ලද පරිගණකයක් ඇතුලු උපකරණ රැසක් අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
සැකකරු විසින් විවිධ නම්වලින් සකස් කරන ලද සැකකරුගේ හැදුනුම්පත් හතක්ද සහ විවිධ පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර 23ක් බෝර වර්ගයේ පතරොම්, කඩුවක්, මෙමරි කාඩ්, සී ඩී. තැටි රජයේ විවිධ ආයතන සහ පුද්ගලයින්ගේ නිල මුද්‍රා රැසක් සමඟ වාහනයේ ගමන්ගන්නා විට යොදා ගන්නා රාජ්‍ය ලාංඡනය සහිත නාම පුවරුවක් ඇතුලු උපකරණ රැසක්ද පොලිස් බාරයට ගෙන තිබේ
සැකකරු ලග්ගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරයේද නිරත වන බවත් මොහු සදහා පතරොම් ලබා දුන් පුද්ගලයාගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගත් බවද පොලිසිය කියයි.
සැකකරු විසින් විවිධ පුද්ගලයින් විදේශ අධ්‍යාපනය සදහා යොමු විමේදි අවශ්‍ය ලිපි ලේඛන ව්‍යාජ ලෙස සකස් කර ඇති බවත් ඒ සදහා අදාළ බැංකු විස්තරද ව්‍යාජ ලෙස ලබා දී ඇති බවත් මුලික පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ.
සැකකරු මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.




