පසුගිය කාලයේ ප්‍රභූවරුන් ලෙස සමාජයේ පෙනී සිටි පුද්ගලයින් ළඟ සිටි නීති විරෝධීව කැලෑ වලින් අල්ලා ගත් අලි පැටවුන් ඔවුන් තනතුරුවලින් ඉවත් වන විට එම සතුන් එක්තරා අමාත්‍යංශයකට බාරදී යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
මේ පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතා මේ පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද දැනුම් දුන්නේය.
පසුගිය කාලයේ ජනප්‍රිය භික්ෂූන් වහන්සේ නමක් ළඟ තබාගෙන සිටි අලි පැටවුන් නීති විරෝධී බවට ප්‍රබල සාක්කි මතුව ඇති හෙයින් උන්වහන්සේට එරෙහිව නීති මගින් කටයුතු කරන බවද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
මීට අමතරව වනාන්තර වලින් අලි පැටවුන් අල්ලාගෙනවිත් විකිණීමේ සිද්ධීන්වලට අදාළව වන ජීවී දෙපාර්තමේන්තුව තුළ අක්‍රමිකතා සිදුවී ඇතැයි කියමින් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබන ඔක්තෝබර් 20 වැනිදා පෞද්ගලිකවම උසාවියේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

