
(අංජුල මහික වීරරත්න)
සිංහල භාෂාව පිළිබඳ අග්‍රගණ්‍ය විද්වතකු වූ රාජකීය පණ්ඩිත සිරි තිලකසිරි මහතා අභාවප්‍රාප්ත විය.
සිංහල භාෂාව ,සම්භාව සාහිත්‍ය සහ ශාස්ත්‍රීය පර්යේෂණ ක්ෂේත්රයේ කැපී පෙනෙන පඬිවරයකු වූ සිරි තිලකසිරි මහතා පුරාතන සාහිත්‍ය නව පරපුර උදෙසා සරලව දායාද කිරීමට මහඟු මෙහෙවරක් කළේය.
සිරි තිලකසිරි පඬිවරයාණන්ගේ සංස්කරණයෙන් හැඩ වූ පැරැණි වියරණ ග්රන්ථ මෙන්ම මහා කාව්‍යයන් අදටත් උසස් අධ්‍යාපන විද්‍යාර්ථීන්ගේ භාෂා දැනුම වර්ධනය සඳහා අත්වැල් සපයන්නේය.
සිරි තිලකසිරි මහතා විසින් සම්පාදිත සිංහල සාහිත්‍යය, සංදේශ කාව්‍යය විචාර කෘති හා පිරිවෙන් අධ්‍යයන කෘති අතර ප්‍රේත වස්තුව, කවි සිළුමිණ,ගිරා සංදේශය, මුව දෙව්දාවත, පැරකුම්බා සිරිත,ගඟරු පුද කව්,කාව්‍යශේඛර විමර්ශනය, ගුත්තිල කාව්‍යය,බුත්සරණ, ගුරුළුගෝමීන්ගේ අමාවතුර,ගිරා සංදේශය විමර්ශනය,සඳකිඳුරු දා කව,සිංහල සංදේශ කාව්‍යයේ නවයුගය,සංදේශ කාව්‍ය සාහිත්‍ය,භාෂා සාහිත්‍ය විමර්ශන, සිංහල සංදේශ කාව්‍යයේ දේශපාලන පසුබිම ,හිතෝපදේශය,එළු සිලෝ ශතකය,ජිනචරිතය, සසදාවත ආදී විචාර ග්රන්ථ ප්රමුඛස්ථානයෙහිලා සැලකිය හැකිය.
එතුමන් ලියූ සිංහල වියරණ විධි ග්‍රන්ථය වර්තමානයේ පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්රමුඛ පරිශීලන කෘතියකි. මහාචාර්ය සුචරිත ගම්ලත්, මහාචාර්ය ජේ.බී දිසානායක, මහාචාර්ය විමල් ජී බලගල්ල වැනි වියතුන් සමඟ එක්ව සිංහල භාෂාවේ ව්‍යාකරණය පෝෂණය කිරීමට සිරි තිලකසිරි මහතා විශිෂ්ට මෙහෙවරක් කළේය.

