හෙරොයින් සමඟ විදෙස් ජාතික කරණවෑමියා අත්අඩංගුවට


(ටී.කේ.ජී.කපිල )

රුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂයක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළට පැමිණි විදේශීය ගුවන් මගියෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 32 හැවිරිදි ඉන්දීය ජාතික කරණවෑමියෙකි .

 මොහු 26 දින පස්වරු 04.15 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

 ඔහු විසින් රැගෙන ආ ගමන් මළු තුළ හෙරොයින් කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 832 ක ප්‍රමාණයක් සගවා ගෙන සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

පළමු වතාවට මෙරටට පැමිණ ඇති මෙම ඉන්දීය ජාතිකයා මෙම මත්ද්‍රව්‍ය තොගය කොළඹ , බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක දී මෙරට මත්ද්‍රව්‍ය නියෝජිතයන් වෙත භාර දීමට සැළසුම් කර තිබූ බව අනාවරණය වී තිබේ .