හෙරොයින් විකිණූ දෙදෙනකුට මරණ දඬුවම


මනෝප්‍රිය ගුණසේකර 
 
කොළඹ ප්‍රදේශයේ හෙරොයින් බේදා හරිනු ලැබු කුඩු ජාවාරම් කරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (30)  මරණ දඬුවම  නියම කළේය.
 
හෙරෙයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්ත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට විත්තිකරුවන්ට දැඩි  දඬුවම් නියම කරන බව   දඬුවම් නියම කරමින් විනිසුරවරයා සඳහන් කළේය.
 
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ කොළඹ මාලිගාකන්ද ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන උපුල් ප‍්‍රසන්න රෝසයිරෝ සහ අමිත උමගිලිය ප‍්‍රසන්න නමැති මැදි වයස්වල පුද්ගලයින් දෙදෙනෙකුටය.
 
2013 ජනවාරී මස 23 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ හෝර්ටන් ප‍්‍රදේශයේදී හෙරොයින් ග්රූම් 20.28 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා   නඩු පවරා තිබිණි.
 
 

විත්තිකරුවන් තී‍්‍රරෝද රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කොට ඇති බවත් ඒ අවස්ථාවේදී විත්තිකරුවන් සන්තකයේ හෙරොයින් ග්රූම් 90 ක් තිබී සොයාගෙන ඇති බවත් නඩු විභාගයේදී හෙළි විය.
 
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබු හෙරොයින් පරීක්‍ෂාවට ලක් කළ රජයේ රස පරීක්‍ෂවරයා එහි ශූද්ධ හෙරොයින් ග්‍රෑම් 20.28 ක් ඇති බව දැනුම් දී තිබූ අතර මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට මරණීය දඬුවම් නියම කළේය.