හෙරොයින් වැටලීම කළ උප පොලිස් පරීක්ෂකට පරීක්ෂණයක්


මනෝප්‍රිය ගුණසේකර
 
වැටලීම කළ පොලිස් නිලධාරියාගේ සාක්කි පරස්පර වීම නිසා හෙරොයින් ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කළ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය වැටලීම කළ උප පොලිස් පරීක්‍ෂවරයාට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියම කළාය.

 
මෙලෙස වහාම විනය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියම කරන ලද්දේ ගල්කිස්ස පොලිසියට අනුයුක්තව සේවය කරන බව කියන උප පොලිස් පරීක්‍ෂ කල්‍යාණන්ද මහතාට එරෙහිවය.
 
2014 මැයි මස 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ගල්කිස්ස අඟුලානේදී හෙරොයින් ග්‍රෑම් 8.27ක් ළඟ තබාගෙන ජාවාරම් කළ බවට නිම්සර මිහිඳුන් වීරරත්න නමැත්තාට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණි.
 
මේ සම්බන්ධයෙන් වූ නඩුව විභාග කිරීමේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කිදුන් ගල්කිස්ස පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්‍ෂ කල්‍යාණන්ද මහතා 2014 මැයි මස 06 වැනිදා ගල්කිස්ස අඟුලානේදී හෙරොයින් ළඟ තබාගෙන සිටියදී විත්තිකරු අල්ලා ගත් බවත් ඒ අවස්ථාවේදී ඔහු ළඟ හෙරොයින් ග්‍රෑම් 19.05 ක් තිබූ බවත් විත්තිකරු අල්ලාගෙන පොලිසියට ගිය පසු ඒ සම්බන්ධයෙන් සටහන් තැබූ බවත් පැවසීය.
 
ඉන් පසු දිනයකදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ශ්‍රමින්ද වික්‍රම මහතාගේ මෙහෙයවීම යටතේ නැවත වරක් සාක්කි දුන් උප පොලිස් පරීක්‍ෂ කල්‍යාණන්ද මහතා පොලිස් පොත් වල තැබූ සටහන් තමාගේ නොවන බව පැවසීය. අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් ප්‍රමාණය හා එම හෙරොයි අසුරා තිබූ ඇසුරුම් සම්බන්ධයෙන් ඔහු පරස්පර සාක්කි දුන්නේය.
මේ අනුව අධිකරණය ඇමතූ රජයේ  ජ්‍යෙෂ්ඨ නීතීඥ ශ්‍රමින්ද වික්‍රම මහතා මෙම සාක්කිකරුගේ සාක්කි එකිනෙකට පරස්පර වීම හේතුවෙන් නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බව දැනුම් දුන්නේය.
 
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් ඉන්දික අතුරලිය මහතා අධිකරණය අමතමින් මේ තත්ත්වය මත තම සේවාදායකයා නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.
 
ඉදිරිපත් වු කරුණු සලකා බලමින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළ විනිසුරුවරිය වැටලීම කළ උප පොලිස් පරීක්‍ෂවරයාට එරෙහිව වහාම පියවර ගෙන මාසයක කාලයක් තුළ මෙම අධිකරණයට දැනුම් දෙන ලෙස පොලිස්පතිවරයාට නියම කළාය.