
(ටෝනි කරුණානායක)
අධිකරණ නියමයෙන් රැඳවුම් නියෝග මත මිනුවන්ගොඩ පොලිසියේ රඳවා තබාගෙන පරීක්ෂණ කරන ‘‘හැට්ටයා‘‘ යන නමින් හඳුන්වනු හෙරොයින් ජාවාරම්කරුවාගේ අනියම් බිරින්දෑවරුන් 06 දෙනෙකු පොලිස් බාරයට ගෙන ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය අද (18) පැවසීය. මෙම කාන්තාවන් 6 දෙනා සමග රුපියල් අනූ අට ලක්ෂයක චෙක්පත් සහ හෙරොයින් ග්‍රෑම් 05 ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
කැගල්ල , වීරගුල , වේයන්ගොඩ , කොරසේ , කලගෙඩිහේන සහ නිට්ටඹුව යන ප්‍රදේශ වල පදිංචි හැට්ටයා යන නමින් හඳුන්වනු ලබන එම සැකකරුගේ අනියම් බිරින්දෑවරුන් විවාහක අයවලුන් බවත් සැකකරු එම
බිරින්දෑවරුන් වෙනුවෙන් හෙරොයින් ජාවාරමෙන් ලැබෙන මුදල් වලින් ඔවුන්ට යාන වාහන සහ නිවාස අරන් දී ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
සැකකරු වසර 10 කට ආසන්න කාලයක් හෙරොයින් ජාවාරම් කිරීමේ නිරත වෙමින් සිටි අයෙකු බවට මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
සැකකරුගේ බිරිඳ ඇතුළු දරුවන් දෙදෙනාගේ සහ සැකකරුගේ අනියම් බිරින්දෑවරුන්ගේ බැංකු ගිණුම් අත්හිටවීම සඳහා අධිකරණ නියෝග ලබා ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
එම බැංකු වාර්තා ලැබුණ පසු මුදල් විශුද්ධිකරන පනත යටතේ එම බැංකු ගිණුම්වල ඇති මුදල් රාජසන්තක කිරීම සඳහා කටයුතු කරන බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

