හෙරොයින් ජාවාරම් කළ බන්ධනාගාර නියාමක ඇතුළු 4 ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර


(ටෝනි කරුණානායක)

හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින බන්ධනාගාර නියාමක සහ ගුවන් හමුදාවේ සිවිල් සේවකයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනකු ලබන 03 වැනිදා දක්වා වේයන්ගොඩ පොලිසියේ රඳවා තබාගෙන විමර්ශනය කිරීම සඳහා ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර්.එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (27) වේයන්ගොඩ පොලිසියට අවසර ලබා දුන්නේය.

හෙරොයින් ග්‍රෑම් 13 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් සිව්දෙනා වූ මහර බන්ධනාගාර නියාමක ඉෂාර ඉෂාන් හෙට්ටිආරච්චි, එන්.දනුෂ්ක ලක්මාල්,ගුවන් හමුදාවේ සිවිල් සේවක කේ.එච්.සචින් රමේෂ් ,දිනේෂ් රොශාන් ප්‍රියදර්ශණ හෙවත් ‘පොඩි කොයියා‘ නැමැති සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනා මෙසේ රඳවා තබාගෙන විමර්ශනය කිරීම සඳහා වේයන්ගොඩ පොලිසියට අවසර ලබා දුන්නේය.

හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන ‘රගරා‘ නැමැති සැකකරුගේ සහ හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් ඇප නියම කරන ලද සැකකරුවන්ගේ බැංකු ගිනුම් සහ ජංගම දුරකථන විස්තර අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝග මත පරික්ෂා කිරීමෙන් අනතුරුව අනාවරණය වූ කරුණු මත මෙම සැකකරුවන් සිව් දෙනාව අත්අඩංගුවට ගත්බව පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.