(මනෝප්‍රිය ගුණසේකර)
කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් බෙදාහැරීම සඳහා ත්‍රිරෝද රථයකින් ගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබු ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස සේවය කළ කුඩු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (21) මරණ දඬුවම නියම කළේය.
හෙරොයින් ග්‍රෑම් 22ක ප්‍රමාණයක් සමඟ මොහු අත්අඩංගුවට ගෙන තිබිණි.
හෙරොයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට විත්තිකරුවන්ට දැඩි දැඩි දඬුවම් නියම කළ යුතු බව විත්තිකරුට දඬුවම් නියම කරමින් විනිසුරවරයා සඳහන් කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි නිශාන්ත පෙරේරා නමැත්තාටය.
2007 නොවැම්බර් මස 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 22.57 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂක රුවන් කුමාර මහතාට ලැබුණු තොරතුරකට අනුව මට්ටක්කුලිය ප්‍රදේශයේදී විත්තිකරු පැදවු ත්‍රිරෝද රථය පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි ‘කැබි හෝල්’ එක තුළ තිබී හෙරොයින් අඩංගු පාර්සලය සොයා ගෙන ඇති බව නඩු විභාගයේදී හෙළි විය.
විත්තිකරු සමඟ ඒ අවස්ථාවේ ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි කාන්තාවක් හා තරුණයකුද අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් දෙදෙනා මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර තිබූ අතර නඩු විභාගය අතරතුර ඔවුන් දෙදෙනා මිය යෑම නිසා ත්‍රි රෝද රථ රියදුරාට එරෙහිව පමණක් නඩු විභාගය පවත්විය.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කෙර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණීය දඬුවම් නියම කළේය.

