(මනෝප‍්‍රිය ගුණසේකර)
නිල ගිනි අවියෙන් වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදුකළ බවට බස්නාහිර පළාත් සභාවේ සභානායක හෙක්ටර් බෙත්මගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව හෝමාගම මහාධිකරණයට මාරු කර යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඊයේ (25) නියම කළේය.
හෝමාගම මහාධිකරණයක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව අධිකරණය බලප‍්‍රදේශය වෙනස් වී ඇතැයි පෙන්වා දුන් විනිසුරුවරයා එම තත්වය අනුව මෙම නඩුව විභාග කිරීමට මෙම අධිකරණයට අධිකරණ බලයක් නොමැති බව දැනුම් දෙමින් අදාළ නියෝගය නිකුත් කළේය.
සිතාසියක් ලැබුණු විට හෝමාගම මහාධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා විත්තිකාර හෙක්ටර් බෙත්මගේ මහතාට නියම කළේය.
2009 පළාත් පාලන සමයේදී තලංගම ගල්වරුසාව හන්දිය ප‍්‍රදේශයේදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව දිනේෂ් කුමාර නමැත්තාට තුවාල සිදුකිරීම පොදු අරමුණ කරගත් නීතීවරෝධී රැස්වීමක සාමාජිකයකු වශයෙන් කටයුතු කරමින් දිනේෂ් කුමාර නමැත්තාට වෙඩි තබා තුවාල සිදුකළ බවට බස්නාහිර පළාත් සභාවේ සභානායක හෙක්ටර් බෙත්මගේ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.
එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකාර හෙක්ටර් බෙත්මගේ මහතා අධිකරණයේ පෙනී සිටියේය. ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළේය.

