හීලෑ අලි ඇතුන් වෙනුවෙන් උපදේශන සංග්‍රහයක්


(තිළිණි ද සිල්වා )

 
හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම හා පෙරහර වලට ලබා දීම සම්බන්ධයෙන් උපදේශන සංග්‍රහයක් සැකසීමට රජය කටයුතු කරමින් සිටින බව සංචාරක අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා අද (19)  පැවසීය.
 
එය කඩිනමින් සකසා කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 
සත්වෝද්‍යාන උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ නිළධාරින් සමග සංචාරක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ඇමතිවරවයා මේ බව සදහන් කළේය.
 
නව රජයේ විෂය පථය වෙන් කිරීමේ ගැසට් පත්‍රයට අනුව සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව පැවරී ඇත්තේ සංචාරක අමාත්‍යාංශය යටතට වන අතර සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ හා උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡා කිරීම සදහා අමාත්‍යවරයා  මෙම සාකච්ඡාව කැඳවා තිබුණි.
 
හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම හා පෙරහර වැනි ජාතික උත්සව වලට අලි ඇතුන් ලබාදීම සම්බන්ධයෙන් සත්වෝද්‍යාන  දෙපාර්තුමේන්තුව උපදේශන සංග්‍රහයක් මේ වන විට සකස් කෙරෙමින් පවතින බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.
 
ඒ අනුව එම උපදේශන සංග්‍රහය අවසන් කළ වහාම අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නැයිද අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය '