හීත්රෝ පන්සල දකුණේ පාසලකට ගිහින්


ලන්ඩන් නුවර හිත්රෝ අතුල දස්සන විහාරස්ථානයට අනුබද්ධිත අතුල දස්සන බහු සංස්කෘතික ප්‍රජා කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ පිටිසරබද පාසල්හි දු දරුවන්ට උපකාරවිමේ සහන වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව විහාරාධිපති  වඳුරඹ කස්සප හිමියෝ පවසති.

අකුරුගොඩ ශ්‍රී රතනජෝති විද්‍යාලයේ සිසුනට අවශ්‍ය අභ්‍යාස පොත් සහ අනෙකුත් භාණ්ඩ මෙන්ම පාසල් නිල ඇඳුම් සකසා ගැනීමට අවශ්‍ය රෙදිපිළි ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි

මෙයට අමතරව ඉගෙනීමෙහි දක්ෂතා දක්වන දුප්පත් පවුල්වල දරුවන් දෙදෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමද එදින සිදු විය.

විද්‍යාලයයේ බුදුමැඳුර වෙත යාමට ඇති මාර්ගය අලුත්වැඩියා කිරිම සඳහා අවශ්‍ය බඩු බාහිරාදියද එදින සපයා දීම සිදු විය.

මෙම පිංකම සඳහා අනුග්‍රාහකත්වය සපයනු ලැබුවේ සිය මෑණියන් වන වෛද්‍ය ගුණපාලි කුසුම් විජේතුංග මැතිනියට පින් පැමිණවීමේ අරමුණෙන් මේ පිංකම සංවිධානය කෙරිණි.

ශ්‍රී රතන ජෝති විද්‍යාලයේ විදුහල්පති පි.ජි.ආනන්ද මහතා සමඟ ගුරු මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සහ දෙමාපියන් උත්සවයේ වැඩකටයුතු සංවිධානය කිරීම සඳහා සහාය වුහ. 

උත්සවය සඳහා අවට විහාරස්ථානයන්හි මහා සංඝ රත්නය 30 නමක් සහභාගී වූ අතර උන්වහන්සේලාට දහවල දානය ද පිරිනැමිණි.