හිස්බුල්ලාගෙන් පැය තුනක ප්‍රකාශයක්


( තිළිණි ද සිල්වා  සහ  සුජිත් හේවාජූලිගේ)

මඩකලපුව පූනානි හි පවත්වාගෙන යන ෂරියා විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දුෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකය විසින් නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්.හිස්බුල්ලා මහතාගෙන් අද (14) පැය තුනක කාලයක් ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇත. 

නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මඩකලපුව පූනානි හි පවත්වාගෙන යන  ෂරියා විශ්ව විද්‍යාලයට එරෙහිව නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියන් විසින්  වත්මන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ගොනු කළ පැමිණිල්ලට අදාළව සිදුකරන මූලික විමර්ශන සඳහා හිස්බුල්ලා මහතාගෙන් එම ප‍්‍රකාශ ලබා ගෙන ඇත.

එම පැමිණිල්ලට සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා කොමිසම හමුවට පැමිණෙන්නැයි කොමිසම විසින් එම විශ්ව විද්‍යාලයේ කළමනාකරුට දන්වා තිබියදී විශ්ව විද්‍යාලයේ හිටපු සභාපතිවරයා ලෙස හිස්බුල්ලා මහතා එම කොමිසමේ පොලිස් ඒකකයට පැමිණි ප‍්‍රකාශ ලබා දී ඇත.

අදාළ විශ්ව විද්‍යාලය විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර නොමැති බවත් ,එය පෞද්ගලික විශ්ව විද්‍යාලයක් බවද හිටපු ආණ්ඩුකාරවරයා පොලිස් නිලධාරීන්ට ප‍්‍රකාශ ලබා දෙමින් සඳහන් කර ඇත.

එසේම තමා එම විශ්ව විද්‍යාලයේ සභාපති වශයෙන් කටයුතු කළ ද වර්තමනයේ එහි පාලන කටයුතු තම පුතුගේ සභාපතිත්වයෙන් යුත් පාලක මණ්ඩලයක් විසින් සිදු කරන බවද හිස්බුල්ලා මහතා කොමිසමේ පොලිස් ඒකකයට ලබාදුන් ප‍්‍රකාශයේ සඳහන්ය.