හින්දු පූජකයා මැරූ හමුදා සෙබළා ඇතුළු තිදෙනෙක් පෝරකයට


සිරාජ් හසීම් සහ රොමේෂ් මධුසංඛ 

හින්දු පූජකවරයකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා හතරකට වරදකරුවන් වූ යුද හමුදා සාමාජිකයකු ඇතුළු තිදෙනකුට යාපනය මහාධිකරණය මරණ දඬුවම නියම කළේය.


ඊට අමතරව පූජකවරයාගේ පුතුන් දෙදෙනෙකු වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සහ නිවසේ තිබූ රන් භාණ්ඩ හා යතුරු පැදිය සොරාගැනීමේ සිද්ධීන්ට මෙම සැකකරුවන් වැරදිකරුවන් බව තීරණය කළ මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංගචේලියන් මහතා ඔවුන්ට වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්  නියම කළේය.
 
තුවල කරුවන් දෙදෙනා වෙනුවන් රුපියල් ලක්ෂ දෙක බැගින් වන්දි ගෙවන ලෙස සැකකරුවන් තිදෙනාට නියම කළ විනිසුරුවරයා ඔවුන්ට රුපියල් තිස් දහසක දඩ ද නියම කළේය. 
 
2010 වසරේ අප්‍රේල්   11 වැනි දා   යාපනය සංගානෙයි මුරුගමූර්ති වීදියේ පිහිටි නිවසකට ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් එම නිවැසියන්ට වෙඩි තබා රන් භාණ්ඩ හා යතුරු පැදියක්ද කොල්ල කා පලාගොස් තිබිණි. මෙම වෙඩි පහරින් හින්දු පූජකයෙකු වන සිවානන්දන් ගුරුක්කල් පූජකතුමන් ඝාතනයට ලක් වූ අතර වෙඩි වැදීමෙන් ඔහුගේ පුතුන් දෙදෙනෙකුද බරපතල ලෙස තුවාල ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්   මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගය  පැවැති අතර ඉන් පසු කාසිනාදන් මුගුන්දන්,බාලසුබ්‍රමනියම් සිවරූපන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයෙකුව සිටි පේදුරු ගුණවර්ධන යන සැකකරුවන්ට  එරෙහිව  නීතිපතිවරයා  යාපනය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණි.