හිටපු පොලිස්පතිට එරෙහි පෙත්සම සලකා බැලීම කල් යයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
තමන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන නොවැම්බර් 13 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද  (17) තීන්දු කළේය.
 
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදාළව වෙනත් පෙත්සම් 12ක් මේවන විට අධිකරණය හමුවේ කරුණු තහවුරු කිරීම සිදු කෙරෙන හෙයින් ඒවා මඟින් ඉල්ලා ඇති සහනයන්් තීරණය කරෙන තෙක් හිටපු පොලිස්පතිවරයා ගෙනු කළ පෙත්සම් විභාගය මෙදින දක්වා කල් තැබිණි.
 
මෙම පෙත්සම ප‍්‍රසන්න ජයවර්ධන ප‍්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජායන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
 
ජනාධිපති විසින් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී.වික‍්‍රමරත්න , ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය , එහි සාමාජිකයින් වන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ,මහින්ද රාජපක්ෂ ,ආර්.සම්බන්ධන් , ජාවේඞ් යූසුෆ් , එන්.සෙල්වකුමරන් , බිමල් රත්නායක , හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු , ජාතිත රහස් තොරතුරු සේවයේ ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ඇතුළු හයදෙනෙකු නම් කරනු ලැබ ඇත.