ලංකාදීපයේ පළවූ ප්‍රවෘත්තියක තොරතුරු දුන්නේ කවුදැයි අසමින් තමාගෙන් බලෙන් ප්‍රකාශයක් ලබාගෙන පොලිසියට පැමිණිලි කළහොත් මරාදමන බවට තර්ජනය කළැයි ඇත්කඳුර ලංකාදීප වාර්තාකරු ජනත් ද සිල්වා මහතා අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති පුෂ්පලාල් කුමාරසිරි ඇතුළු කණ්ඩායමකට එරෙහිව කළ පැමිණිල්ලක් අනුව පොලිස් පරීක්ෂණ ඇරඹූ බව පොලිසිය කියයි.
ජනත් ද සිල්වා යතුරු පැදියෙන් යද්දී ගෝනාපීනුවලදී බලෙන් බිමට බස්වා ඇදගෙන ගොස් ප්‍රවෘත්තියක මූලාශ්‍රය හෙළිකරන ලෙස තර්ජනය කර ඔවුන්ට ඕනෑ විදියට ප්‍රකාශයක් පටිගත කරගත්තැයිද පොලිසියට පැමිණිලි කළහොත් ගෙදරටම අවුත් මරා දමන බවට තර්ජනය කළැයිද විනාඩි 20ක් පමණ තමා බලෙන් රඳවාගෙන තර්ජන හා අඩම්තේට්ටම් කළැයිද හික්කඩුව පොලිසියට පැමිණිලි කර ඇත.
සාපාරාධී ලෙස රඳවාගැනීම, මරණ තර්ජන එල්ල කිරීම, බලෙන් ප්‍රකාශයක් ලබාගැනීම හා මාධ්‍යවේදියකුගේ රාජකාරියට අවහිර කිරීම යන කරුණු යටතේ එම පිරිස අත් අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි.
අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාව සම්බන්ධයෙන් ලංකාදීපයේ පළවූ පුවතක් වැරදි යැයි කියමින් හිටපු සභාපති එවූ පැහැදිලි කිරීමද පසුගියදා ලංකාදීප පත්‍රයේ පළවීමෙන් පසුව මාධ්‍යවේදියාට මෙසේ හිරිහැර කර ඇතැයිද පොලිසිය පවසයි.

