හිටපු ප්ලොට් නායකයෙක් ගිනි අවි සමඟ අත්අඩංගුවට


(රොමේෂ් මධුෂංඛ)

යාපනය රෝහල මාර්ගයේ පිහිටි නිවසක සිටි පුද්ගලයකු එම නිවසෙන් ඉවත් කිරීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ගිනිඅවි ඇතුළු යුද උපකරණ තොගයක් අදාල නිවසේ තිබියදී අද (19)  පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය රෝහලපාරේ අදාල නිවස පිහිටා ඇති අතර නිවසේ හිමිකරු විදෙස්ගතව සිටින අතර අදාල නිවස කුලියට ගෙන සිටි රාජනායගම් ශිවකුමාර් නමැත්තා නිවසෙන් පිට නොවීම හේතුවෙන් නිවසේ හිමිකරුගේ ඥාතීන් විසින් යාපනය පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් අදාල නිවසට පැමිණ නිවස පරික්ෂා කිරීමේදී මෙම යුද උපකරණ තොගය හමු වී ඇත.

මෙසේ හමු වූ යුද උපකරණ අතර ටී.56 ගිනිඅවියක්, ටී.56 ගිනිඅවි මැගසින් 6 ක් , ටී.56 උණ්ඩ 399 ක්, හෑන්ඩ් සෙට් 2 ක්, පූචස් දෙකක් පිස්තෝලයක් හා කඩු දෙකක් වේ.

අදාල යුද උපකරණත් සමග නිවසේ සිටි සැකකරු වන රාජනායගම් ශිවකුමාර් නැමත්තා මීට පෙර ප්ලොට් සංවිධානයේ සිටි අයෙකු බවට යාපනය පොලීසියට තොරතුරු ලැබී ඇති අතර ඔහුගේ පදිංචිය යාපනය මණිපායි ප්‍රදේශයේය.

අදාල සැකකරු ළග තිබූ යුද උපකරණ තොගය පරිහරණය කරණ තත්වයේ තිබීම හා කඩු දෙකක්ද තිබී හමු වීමත් සමග පසුගිය කාලයේ යාපනය දිස්ත්‍රීක්කයේ ආවා කල්ලියෙන් සිදු වූ පහරදීම් සැලසුම් කරන ලද පුද්ගලයෙකු හෝ කිසියම් පාතාල කල්ලියක නායකයෙකු විය හැකි බවටද යාපනය පොලීසිය සැක කරයි.