හිටපු ඩී.අයි.ජී ගේ ගෙට විද්ද දෙන්නා මාට්ටු


 

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නිවසක වතුර මෝටරයක් , භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ  විශ්‍රාමික මහාචාර්යවරයෙකුගේ නිවසක රූපවාහිනීයක් , ඇතුළු රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න වටිනාකමින් යුත්  භාණ්ඩ තොගයක් සොරාගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි .

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර සොරාගත්  භාණ්ඩ ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථය ද  වන බව පොලිසිය කියයි .

නිරෝධායන  ඇදිරි නීතිය පැවති කාලය තුළදී , ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ වායුසමීකරණ හා විද්‍යුත් තරාදි නිෂ්පාදන ආයතනයකට ඇතුළු වී එහි තිබූ , රුපියල් නව ලක්ෂ හතලිස් එක් දහසක් වටිනා, විද්‍යුත් පරිපථ 600 සහ වායු සමීකරණ යන්ත්‍ර නිෂ්පාදනය සඳහා භාවිතා කෙරෙන , අමතර කොටස් තොගයක්  ත්‍රීරෝද රථයක ආධාරයෙන් අවස්ථා කිහිපයකදී සොරාගෙන ගොස් තිබුණි .

මේ පිළිබඳව පොලීසියට  ලැබී තිබූ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කරමින් සිටියදී , නවීන පන්නයේ අධි ධාරිතාවයෙන් යුත් විද්‍යුත් පරිපථ තොගයක්  ඇතුල්කෝට්ට ප්‍රදේශයේ  නිවසක ඇති බවට  තොරතුරක් පොලිසියට ලැබී තිබුණි .

ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක්  ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ නිවසක් වටලා පරික්ෂාකිරීමේදී ඒ තුළ තිබී, විද්‍යුත් පරිපථ තොගයක්  භාරයට ගෙන තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට නිවසේ සිටි "කෝට්ටේ ලාසා" නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබුණි .

ඔහු ගෙවල් බිඳුම් සම්බන්ධයෙන්  දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස නම් දරා ඇති අයකු බවද  පැවසේ .

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරි චන්දන ලියනගේ මහතාගේ හා සහකාර  පොලිස් අධිකාරි මාලන් පෙරේරා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ තලංගම පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මුණසිංහ මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දසනායක මහතාගේ මෙහෙයවීමෙන් , පො.සැ (37723) රංජිත් ,පො.කො (83774) සුධීර ,(93838) පෙරේරා , (21805) අසංක , කා.පො.කො (11812) වත්සලා  ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති. 

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිිරි)